භවංග සෝතය සහ ජවන ශක්තිය: සංසාර ගමනේ විද්‍යාත්මක විග්‍රහය

0
33

මනුෂ්‍ය සිතේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය සහ කර්ම ශක්තිය ගොඩනැගෙන ආකාරය පිළිබඳ බුදුදහමේ එන විද්‍යාත්මක විග්‍රහය “අභිධර්මය” තුළ මනාව පැහැදිලි කෙරේ. අපගේ පියවි ඇසට නොපෙනෙන සිතේ වේගවත් ගලායාම, එනම් “භවංග සෝතය” සහ අප විසින් රැස් කරනු ලබන “ජවන ශක්තිය” හෙවත් කර්ම ශක්තිය අතර පවතින්නේ අවිච්ඡන්න සබඳතාවයකි.

මෙම ලිපිය මගින් චිත්ත වීථියක සිදුවන සංකීර්ණ ක්‍රියාවලිය සරලව විග්‍රහ කරන අතරම, ඒ මඟින් සිදුකරන කර්මය පාලනය කිරීම හෙවත් වර්තමාන මොහොතේ මනසිකාරය වෙනස් කිරීම තුළින් අතීත අකුසල වේගයන් පාලනය කර සිත ප්‍රභාමත් කරගන්නා ආකාරය පිළිබඳ ප්‍රායෝගික මගපෙන්වීමක් ඉදිරිපත් කරයි.

බුදු දහමට අනුව සිත යනු අතිශය වේගයෙන් වෙනස් වන ක්‍රියාවලියකි. අප පියවි ඇසට නොපෙනුණත්, සිතේ ක්‍රියාකාරිත්වය සිදුවන්නේ චිත්ත වීථි (Thought Processes) නමැති නියමිත රටාවකට අනුවය. චිත්ත වීථියක් යනු පංචේන්ද්‍රියකට හෝ මනසට අරමුණක් (රූප, ශබ්ද ආදී) ලැබුණු මොහොතේ සිට එය හඳුනාගෙන, විපාක විඳ, කර්ම රැස් කර අවසන් වන තෙක් සිත් දාමයක් අනුපිළිවෙළින් ක්‍රියාත්මක වන විද්‍යාත්මක රටාවයි.

1. භවංග සෝතය: සංසාරයේ නොසිඳෙන ගඟ

භවංග සෝතය (භවංග සිත්) යනු අප නිදා සිටින විට හෝ කිසිදු බාහිර අරමුණක් නොගන්නා විට පහළ වන, පෙර කළ කුසලයක විපාකයක් ලෙස ගලා යන සන්සුන් සිත් පෙළකි. එම භවංග සිත් නොකඩවා ගලා යන ගංගාවක් වැනිය. එය සංසාරයේ අප උපදින සෑම භවයකම ආරම්භයේ (ප්‍රතිසන්ධි) සිට අවසානය (චුති) දක්වාත්, භවයෙන් භවයටත් අඛණ්ඩව ගලා ගොස් අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාන මොහොතේදී නතර වේ. 

2. චිත්ත වීථියක ක්‍රියාකාරිත්වය

  • අරමුණක් ලැබුණු විට භවංග සිත (අතීත භවාංගය) සෙලවී නතර වේ (භවංග චලන/උපච්ඡේද).
  • ආවජ්ජන: අදාළ ඉන්ද්‍රිය දෙසට සිත යොමු කරන ක්‍රියා සිතක් පහළ වේ.
  • විපාක සිත්: දැකීම හෝ ඇසීම (උදා: චක්ඛු විඤ්ඤාණය) සිදු වී, එම අරමුණ පිළිගෙන (සම්පටිච්ඡන) පරීක්ෂා කිරීම (සන්තීරණ) සිදුවේ.
  • වොත්ථපන: අරමුණ කුසල් හෝ අකුසල් ලෙස විනිශ්චය කරයි.
  • ජවන: තීරණාත්මක ජවන සිත් හතක් වේගයෙන් ඉපිද කර්ම රැස් කරයි.
  • තදාලම්බන: අරමුණේ ඉතිරි රසය විඳ නැවතත් සිත සන්සුන් භවංග තත්ත්වයට පත් වේ.

3. වොත්ථපන: තීරණාත්මක සන්ධිස්ථානය

චිත්ත වීථියක ජවන සිත්වලට පෙර පහළ වන වොත්ථපන සිත, අරමුණක ස්වභාවය විනිශ්චය කර ජවනයන් කුසල් හෝ අකුසල් කිරීමට මඟ පාදන තීරණාත්මක බලවේගයයි. පංචද්වාරයකදී මනෝද්වාරාවජ්ජන සිත මගින් මෙම කාර්යය සිදු කරන අතර, එහිදී යෝනිසෝ මනසිකාරය (නුවණින් මෙනෙහි කිරීම) භාවිතා කිරීමෙන් අතීත අකුසල මතකයන් පවා අභිබවා බලවත් ඤාණසම්පයුත්ත අසංඛාරික කුසල ජවනයන් උපදවා ගත හැකිය. (වොත්ථපන යනු; සිතක සිදුවන එක්තරා “කාර්යයකි” (Function). නමුත් ඒ කාර්යය ඉටු කිරීමට ඉදිරිපත් වන සිතේ නම මනෝද්වාරාවජ්ජනයයි.)

4. ජවන සිත්: කර්මයේ වේගය

ජවන සිත් යනු අරමුණක රස විඳිමින් කර්ම ශක්තිය රැස් කරන, සාමාන්‍යයෙන් වාර හතක් අනුපිළිවෙළින් උපදින වේගවත්ම සිත් මාලාවයි. භවංග සෝතය ප්‍රභාමත් කිරීමට හෝ කිලිටි කිරීමට සෘජුවම දායක වන මෙම ජවනයන්ගෙන්:

  • පළමු වැන්න: මෙලොවදී විපාක දෙන දිට්ඨධම්මවේදනීය කර්ම රැස් කරයි.
  • හත්වැන්න: මීළඟ භවයේදී විපාක දෙන උපපජ්ජවේදනීය කර්ම රැස් කරයි.
  • මැද පහ: නිවන් දකිනා තෙක් ඕනෑම තැනකදී විපාක දෙන අපරාපරියවේදනීය කර්ම ශක්තිය ගොඩනඟයි.

5. යෝනිසෝ මනසිකාරය (නිවැරදි මෙනෙහි කිරීම): ජවන අවස්ථාව පාලනය කිරීම

චිත්ත වීථියක් තුළ අපට කර්ම පාලනය කළ හැකි එකම අවස්ථාව ජවන අවස්ථාවයි. එය පාලනය කරන ආකාරය:

වොත්ථපන සිතේදී “තිරිංග” තද කිරීම:

  • අයෝනිසෝ මනසිකාරයේදී (වැරදි මෙනෙහි කිරීම), සිත ආඝාත වස්තු (කේන්තිය) දෙසට හැරී අකුසල ජවන ඇති කරයි.
  • යෝනිසෝ මනසිකාරයේදී (නිවැරදි මෙනෙහි කිරීම), “මෙය හේතු-ඵල දහමකි, අනිත්‍යයකි” ලෙස දැකීමෙන් ජවන සිත් කුසල ජවන බවට පත් කරයි. පළමු ජවන සිත යෝනිසෝ මනසිකාරය මඟින් කුසලයට හරවා ගත් විට ඉතිරි ජවන හයම එම කුසල ශක්තියෙන් බලවත් වේ. එවිට එහි ජනිත වන චෛතසික 38 සිත පුරා පැතිරී, අතීත පසුතැවීම් (දොම්නස) යටපත් කර දමයි.

    6. ප්‍රායෝගික අභ්‍යාසය

    ඔබේ අතීත අකුසල් පිළිබඳ මතකය සිතට එන “මනෝද්වාරික චිත්ත වීථිය” සලකා බලන්න:

    • අරමුණ: පැරණි සිදුවීමක් මතක් වීම.
    • වොත්ථපනය: “මෙය මා කළ වරදක්” කියා සිතෙන මොහොත.
    • යෝනිසෝ මනසිකාරය: වහාම එම සිතුවිල්ල නතර කර, “එම රූප හා සිත් එවෙලේම නිරුද්ධ විය. දැන් පවතින්නේ අලුත් රූප හා සිත් පෙළකි. මම දැන් අභිධර්මය දන්නා, කුසලයෙහි යෙදෙන පින්වත් පුද්ගලයෙක්මි” කියා සිතීම.

    මෙලෙස සිතන සෑම වාරයක් පාසාම ඔබ ඔබේ භවංග ගඟට අලුත් පිරිසිදු දිය දහරක් එකතු කරයි. මෙම අභ්‍යාසය මගින් ඔබේ වොත්ථපන සිත සැමවිටම කුසලයට හැරවීමට පගුණ වනු ඇත.

    LEAVE A REPLY

    Please enter your comment!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න