රත්වත්ත නම් අපේ ගම

0
1453

ඉන්දියාවේ සිට පිරිසක් සමග හුන්නස්ගිරිය කන්දට යෑමට පැමිණි බ්‍රාහ්මණයෙකු දියපහරක් තරණය කොට හුන්නස්ගිරිය කන්ද පාමුල, හුන්නස්ගිරිය කන්ද පෙනෙන මානයේ පිහිටි හල්මිල්ල ගස් තිබූ ප්‍රදේශයක රාත්‍රි නවාතැන් ගැනීම සඳහා නතර වුණා ලු.

උදෑසනම අවදි වී ගමනට සූදානම් ව ඔහු විසින් රැගෙන එන ලද විශේෂ බෝධීන් වහන්සේ නමකගෙන් ලබා ගත්තා වූ බෝධි ශාඛාව හා එම භාජනය ගැනීමට යෑමේ දී එය එහි භාජනය සමගම පොලවට යාවි ඇති බව දක්නට ලැබුණාලු. ගැනීමට කොතරම් වෑයම් කළත් නොහැකි වූ හෙයින් මෙම ප්‍රදේශය විශේෂිත ප්‍රදේශයක යයි කියා එම භූමියේ ම පදිංචි වුවාලු.

අද මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රත්වත්ත ග්‍රාම සේවා කොට්ටාශ හි පිහිටි රත්වත්ත නමින් හඳුන් වන ගම්මානය මෙම ගම්මානය බවත්, හල්මිල්ල ගස් පිහිටි ප්‍රදේශය අද හල්මිල්ලගස්පිටිය බවත්, එහි පිහිටි පුරාණ රජ මහා විහාරයෙහි වැඩ සිටින මහා බෝධි රාජයාණන් වහන්සේ එම බ්‍රාහ්මණයා විසින් රැගෙන එන ලද බෝධීන් වහන්සේ බවත්, බ්‍රාහ්මණයා විසින් තරණය කරන ලද දිය පහර අද ගම්මානය මැදින් ගලා බසිනා ඔය බවත් ගම්මුන් විශ්වාස කරයි.

ලක්දිව අවසාන රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ (ක්‍රි.ව.1797-1814) රජතුමා විසින් ක්‍රි.ව.1805 – 1812 ත් අතරදි ඉදි කරන ලද මහනුවර පිහිටි ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ දැනට ජීවමාන වන අටලැස් අටල්ල හෙවත් පත්තිරිප්පුවද, මහනුවර වැව හෙවත් කිරිමුහුද, දියරැල්ල හෙවත් වලාකුළු බැම්ම, උල්පැන්ගෙය, දියතිලක මණ්ඩපය, දියඅගල, මඟුල් මඩුව යන අද්විතීය හෙළ කලා නිර්මාණවල රාජකීය කලා නිර්මාණ ශිල්පියා වුද වෙනත් විශේෂ ගොඩනැගිලි බොහෝමයක් ඉදිකිරීමට ගෘහ නිර්මාණ සැලසුම් සකසා දුන් රජ මාලිග​යෙහි ප්‍රධාන නිර්මාණ ශිල්පියා වූ අලකේෂශ්වර ඩිංගිරිඅප්පු හෙවත් දේවේන්ද්‍ර මූලාචාරී හට මෙම ප්‍රදේශයෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ අණ පරිදි ගම්වර ප්‍රදානය කරන ලද බව ද ජනවහරේ එයි, එසේ ම එම දේවේන්ද්‍ර මූලාචාරී ගේ පරම්පරාවෙන් පැවත එන පවුල් කිහිපයක් ද මෙම ගම්මානයේ අදටත් ජීවත් වන බවද සමහර ගම්වැසියන් විශ්වාස කරයි.

සිංහල රජවරුන් විසින් ගම්මානයන් ඒවායෙහි පදිංචි වැසියන්ද සමඟම රදළයන්ට නින්ද ගම් ලෙස පවරා දීමක්‌ සිදුවිය. එවිට එම ගම්මාන වල වැසියන් ඉඩම් බුක්‌තිය වෙනුවෙන් මෙතෙක්‌ රජු ගේ භාණ්‌ඩාගාරයට ගෙවන ලද බද්ධ හා රජතුමා වෙත ඉටුකළ රාජකාරිය නින්දගම් හිමියා වෙත ඉටුකරන ලදී. මෙසේ රත්වත්තේ දිසාව ට අයත් නින්ද ගමක් වූ රත්වත්ත ගම්මානයෙහි රත්වත්ත දිසාව තුමා විසින් වලව්වක් ද ගොඩ නගා තිබී ඇත. එය දැනට නෂ්ටාවශේෂව ඇතත් රත්වත්ත දිසාව තුමාගේ දියණියක් විවාහ වී සිටි වෑගොඩපොල නිලමේතුමා විසින් නිර්මාණය කරන ලද රත්වත්තේ හි පිහිටි වෑගොඩපොල වලව්ව නවීකරණයෙන් පසු ව අලංකාරවත් ව අද ද දක්නට ලැබේ.

ශ්‍රී ලංකාවේ පිහිටි දර්ශීය ගම්මානයක තිබිය යුතු සෑම දෙයක් ම රත්වත්ත ගම්මානයෙහි දැකිය හැක. ඈතින් පෙනෙන හුන්නස්ගිරිය කඳු පන්තියට අයත් කඳු පේලිය, ගම්මානය මැදින් ගලා බස්නා ජල දහර එසේත් නැත හොත් ඔය, ඒ දෙපස තිබෙන කෙත් යායන්,  කෙත් යායන් ට අතරින් පතර තිබෙන එළවළු කොරටු, කුඩා කඳු ගැට අසල ගොඩ නගා තිබෙන ගම් වැසියන්ගේ නිවාස, කුඩා කඳු ගැට මතින් ආරම්භවී කෙත්වතු හා එළවළු කොරටු වල ට ගලා එන කුඩා ජල දහරාවන්, කඳු ගැට මත හා තැනින් තැන තිබෙන ගෙවතු සහ වන රොදවල්, පුරාණ රජ මහා විහාරය, ගම මැදින් ගමන් ගන්නා මාර්ගය, එකිනෙකා සමග පරම්පරා ගණනක සම්බන්ධයක් තිබූ ඔවුන්නොවුන් හොඳින් හඳුනන ගම් වැසියන්, ගම කෙළවරෙහි පිහිටි ප්රාථමික පාසල, කෙත් වතු වල, එළවලු කොරටු වල හා ගෙවතු වල වැඩ කරන ගම්වාසීන්, ආදී දේ මෙහිදී දැක ගත හැක.

මම රත්වත්ත ගම්මානයෙහි විසූ වසර 50 තුළ දී අපේ ගම වෙනස් වූ ආකාරය සියසින් දුටුවෙමි. කෙත්වතු සී සෑම සඳහා යොදා ගත් වී ගවයන්ගෙන් අත් ට්‍රැක්ටර් වලට මාරු වූ හැටි ද, මී තෙල් පහන් වලින්, භූමි තෙල් ලාම්පු වලින් විදුලියට මාරු වූ හැටි ද, කරත්ත පාර ගල් අතුරන ලද  පාර වී අද තාර දමා කාපට් මාර්ග ය වූ අයුරුද, ගම් වැසියන්ගේ ඇඳුම් ක්‍රමක්‍රමයෙන් වෙනස් වී යුරෝපීය හුරුවකට පැමිණි අයුරු ද, උදෑසන සවස පන්සලෙ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් තුන් සූත්‍රය ඇසීමට ලැබුණු අයුරු ද මම දුටු වෙමි.

නමුත් අද ද මම රත්වත්ත ගම දකින්නේ ශ්‍රී ලංකාවේ ස්වභාවික ගම්මානයකට ඇති ලක්ෂණ බොහෝමයක් දරා සිටින ගමක් ලෙසටයි.

LEAVE A REPLY

Please enter your comment!
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න