අපේ ගේ ගාව ඇති දෙබර කූඩුව

0
4846

මම උසස් පෙළ විභාගයට ජීව විද්‍යාඅංශයෙන් ඉදිරිපත් ව සමත් වුණත් අවුරුදු තිස් දෙකකට පස්සේ මට නම් දැන් මතක නැහැ දෙඹරුන් අයිති වෙන විද්‍යාත්මක ගනය හෝ විශේෂය, ආත්‍රපෝඩා කියලා කෑල්ලක් එනවා කියලා නම් යන්තම් මතකයි. ඇත්තටම මගේ ජීවිතේට ඒවා නම් දැන් නම් වැඩකුත් නැහැ. මට වැඩක් වුණේ පහත සඳහන් කරලා තියෙන දේවල් තමයි බොහෝ දුරට. ඒවා මම දැන ගත්තේ අත්දැකීම් වලින් සහ අපේ ගමේ ඉන්න සාමාන්‍ය ගම් වැසි ඥාති හිත මිතුරන් ගෙන්. මට හිතෙනවා ඒ මම දැන ගත් ප්‍රායෝගික දේවල් අනෙක් අයත් හැකි පමණ දැන සිටීම ඒ අයගෙත් ඒ අයගෙ ළමයි ළපටින් ගෙත් ශරීර සෞඛ්‍යයට හොඳයි කියලා දෙබරු සමග වැඩ කරද්දී.

මේ පෙනෙන්න තියෙන දෙබර කූඩුවත් අනික් දෙඹර කූඩුත් සාමාන්‍යයෙන් දෙඹරුන් බඳින්නේ අපිට කියලා එහෙම නම් නෙවෙයි. පොඩියට තියෙන කූඩුව දැක්කහම තමයි අපි දැනගන්නේ දෙබර කූඩුවක් බඳිනවා කියලා. ඒ කූඩුව මේ පෙනෙන කූඩුවේ හැඩයම වාර්ණය ම තියෙන පොඩි කූඩුවක්, මාස තුනක් හතරක් යන විට මේ පින්තූරේ තියෙන විදියට ඒ අය කූඩුව විශාල කර ගන්නවා. ඉන්පසුව ඒ කූඩුවේ ඒ අය අවුරුද්දක් එකහමාරක් විතර ඉන්නවාය කියන එක තමයි මට නම් මතක.

මෙහෙම මිනිස් වාසය සහිත තැනක් සමීපයේ දෙඹරු කූඩුවක් බැන්දහම ඒක ඒ ළඟ ඉන්න මිනිස්සුන්ට නම් බොහෝම අහිතකර වෙනවා. මොකද මී මැස්සාට වගේ නෙවෙයි දෙබරා ට හැකියි කීප සැරයක්ම දෂ්ට කරන්න, අනෙක් කරුණ තමයි දෙබර විෂ බලපාන්නේ ස්නායු පද්ධතියට හා මොළය ට. ඒ නිසා කිසි කතාවක් නැහැ දෙබරුන් දෂ්ඨ කළොත් ඒ රෝගියා ව ළඟම ඇති රෝහල වෙත වහා ම රැගෙන යා යුතුයි. සාමාන්‍ය ජන ව්‍යවහාරයේ තියෙන්නෙ නම් දෙඹරු හතක් දෂ්ට කළාම ඒ විස සමානයි සර්ප විසට කියලා. මට හොඳ අත්දැකීම් තියෙනවා දබරුන් දෂ්ට කරපු අයට මොකද වෙන්නේ කියලා. මම දන්න ඒ දෙඹරු දෂ්ඨ කරපු හැමෝම ළඟම තියන රෝහලේ දවස් තුන හතරකට වැඩිය නේවාසිකව ප්‍රතිකාර ගත්තා. ඒ නිසා දෙබරුන්ගෙන් දෂ්ට කරවා ගන්න එපා!

දෂ්ඨ නොකරගෙන ඉන්න නම් දෙබර කූඩුව ගාවට යන්න එපා. ඒ පළාතට යන්නම ඕනෑ නම් හැකි ඉක්මනින් දෙබර කූඩුව ඉවත් කර දාන්න වෙනවා. එයට කෘමීන් ඉවත් කරන ආයතනයක සහාය ගන්න පුළුවන්, නමුත් එයට විශාල වියදමක් යන නිසා, සුදුසු ම දේ නම් දෙඹරු ගැන දන්න කියන කෙනෙක් එක්ක එකතු වෙලා රාත්‍රී කාලයේ දී දෙබර කූඩුවට ලීම ගෙඩි දෙක තුනක් හෝ දෙහි ගෙඩි දෙක තුනක් ඇතුල් කිරීමයි. අපි නම් කරන්නේ  රාත්‍රි කාලයේ දී ඈතක ඉඳලා දෙබර කූඩුවට ලීම හෝ දෙහි ගෙඩි දෙක තුනක් ඇතුල් වෙන විදිහට ඒවා කුඩුවට දමා ගැසීමයි. හොදට මතක තියා ගන්න මෙය කරන විටදී දෙබරුන් ඇවිස්සුනොත් අපේ ගම් වල කියන විදිහට “අබ සරණයි”. ඒ නිසා අනිවාර්යෙන්ම මේ ගැන දන්න කියන කෙනෙක් එක්කම වැඩේ කරන්න  ඕනෑ. නමුත් මේ වැඩේ කලොත් සතියක් දෙකක් යන විට දෙඹරු ටික කූඩුව අතහැරලා වෙන තැනක කූඩුවක් හදා ගන්නවා.

කිසිම වෙලාවක දෙබර කූඩුවට ගිනි තියන්න එපා. මොකද ඒක ඇතුළෙ ලක්ෂ ගණන් සත්තු ඉන්නවා. ඊට පස්සේ වෙන්නේ කෙලින්ම සතර මහා අපායෙන් එකකට යන්න, අනෙක එහෙන් ආයේ එන්න වෙන්නේ නෑ, සතර මහා අපායෙන් එකකත් ඉන්න වෙන්නේත් ගින්දරත් එක්ක දැවී දැවී. ආයෙත් නිවසක් හදා ගන්න වෙන්නෙත් නැහැ කල්ප ගානකට, හදපු එකක් පිච්චිලා යනවා මේ සතුන්ගේ කූඩුවට ගිනි තියපු පාපෙට. ඒ නිසා කිසිම වෙලාවක කූඩුවට ගිනි තියන්න එපා!

අනෙක් කාරණය නම් මේ පෙනෙන්න තියෙන කූඩුව තිබෙන්නේ අපේ නිවසට අඩි පහළොවක්  විතර ලඟින්, අපි අවුරුදුක් එක හමාරක් විතර මේ දෙබරු එක්ක බොහොම ලස්සන ට පරිස්සමින් ජීවත් වුණ. ඕනෑ නම් ඕනෑම කෙනෙකුට එහෙමත් ඉන්නත් පුළුවන්. අපි මීට වැඩිය අමාරු අසල්වාසීන්, පුද්ගලයන් එක්ක ලස්සන ට  පරිස්සමින් අවුරුදු දහයක් පහළොවක් විතරත් ඉඳලා තියෙනවනේ. මේ දෙබරු අපි ළඟින් හිටපු ඒක අපිට එක අතකින් වාසියකුත් වුණා, මොකද වත්තෙ තියෙන ගම්මිරිස් කඩන්න හොරු එන එක ඒ පැත්තේ බොහොම අඩු වුණා.

නමුත් ගම් වාසීන් කියනවා උකුස්සන් ඇවිත් මේ දෙබර කූඩුවට පහර දෙනවා කියලාත් එවිට ඒ දෙබරු කලබල වී ළඟ ඉන්න මිනිස්සුන්ට විදිනවා ය කියලාත්, ඒ නිසා ඒ ගැනත් කල්පනා කළ යුතු වෙනවා. නමුත් අපට නම් එහෙම අකරතැබ්බයක් වුණේ නැහැ. 

ඉතින්, මගේ නම් අත්දැකීම අපි හරියට හිටියොත් දෙඹරු එක්ක වුණත් ඉන්න පුළුවන්, කාට හරි එහෙම තමන් ට හරියට ඉන්න බැරි නම් දෙඹරුන් ගෙන් පරිස්සම් වෙන්න වෙනවා. ඒකට ඉතින් මම ඉහත සඳහන් කලා වගේ ඒ අයටත් ඒ සතුන්ටත් වන හානිය අවම වෙන දෙයක් කරන්න වෙනවා. අපි හොඳින් මතක තබා ගත යුතු දෙයක් තමා මේ ලෝකය තියෙන්නෙ මිනිස්සුන්ට විතරක් ජීවත් වෙන්න නෙවෙයි, සියලුම සත්තු ඒකෙ ජීවත් වෙන්න ඕනේ, ඒ  සත්තු නැතුව මිනිස්සුන්ට විතරක් තනියම මේ ලෝකෙ ජීවත් වෙන්නත් බැහැ. ඉතින් ඒ ගැනත් හොඳින් හිතලා වැඩ කරන්න ඕනේ.

දෙඹර කුඩුව

LEAVE A REPLY

Please enter your comment!
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න