දේශපාලනය සහ ජනතාව ගේ මානසිකත්වය සම්බන්ධයෙන් මා අදහස් දැක්වීමට හේතු වන්නේ රටේ භෞතික දියුණුව සම්බන්ධව දේශපාලනඥයින් වෙත හා ඔවුන්ගේ ප්‍රතිපත්තීන් වෙත ජනතාව බහුතරයක් විසින් කරන විවේචනයන් දෙස බැලීමෙන් පසුවයි.
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින් විවේචනයට ලක් වන්නේ ඔවුන් විසින් “රටේ දියුණුව සලසා නොදුන්නේ ය” යන කරුණ මතයි. මෙයින් ප්‍රධානම කරුණ ලෙස මතු වන්නේ “බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස් වී අවුරුදු හැත්තෑ දෙකකටත් වැඩි වුවත් තවමත් අපේ යම් අංශයන් නොදියුණු ව පැවැත්වෙනවා” යන්නයි.
නමුත් අපගේ පෞද්ගලික අත්දැකීම් ගෙන බැලුවහොත් රටේ දියුණුව සම්බන්ධව අපට සාධාරණ නිගමනයකට පැමිණීමට හැකි වනු ඇතැයි මා තරයේ විශ්වාස කරමි.
එයට හේතු දැක්වීම සඳහා මා ජීවත් වන ප්‍රදේශය ගත හොත් මීට දශක හතරකට පෙර එනම් අවුරුදු හතළිහකට පමණ පෙර මා ජීවත් වන ප්‍රදේශයේ තිබූයේ උළු සෙවිලි කළ ගඩොලින් බිත්ති බඳින ලද නිවෙස් තුනක් පමණ සහ පිදුරු සෙවිලි කළ මැටියෙන් සකසන ලද නිවෙස් හැටක් පමණ ය. අද මේ ප්‍රදේශයෙහි නිවාස තුන්සීයකට වැඩි ගණනක් ඇති අතර එයින් එකක් හෝ පිදුරු සෙවිලි කොට මැටියෙන් සකසා නැත. සියලුම නිවෙස් ගඩොලින් බැඳ උළු හෝ ඇස්බැස්ටෝස් සෙවිලි කොට ඇත.
තවද මා ජීවත් වන ප්‍රදේශයේ මීට දශක හතරකට හෝ අවුරුදු හතළිහකට පමණ පෙර තිබුණේ වාහන එකක් හෝ දෙකක්, බර කරත්තයක් හා පාපැදි කිහිපයක් පමණි. නමුත් අද සෑම නිවසකම ස්කූටරයක් හෝ මෝටර් බයිසිකලයක් හෝ ත්‍රීවීලරයක් හෝ කාර් රථයක් හෝ වෑන් රථයක් ඇති අතර සමහර ගෙවල් වල මෙයින් දෙකකට වැඩි ගණනක් ද ඇත. තවත් සමහර නිවෙස් වල ලොරි රථයක් හෝ ටිපර් රථයක් හෝ ද ඇත.
තව ද ඒ කාලයේදී මා ජීවත් වන ප්‍රදේශයෙහි ප්‍රධාන ජීවනෝපාය වූයේ වී ගොවිතැන සහ කෘෂිකර්මාන්තය වුව ද අත් ට්‍රැක්ටරයක් හෝ රෝද හතරේ ටැක්ටරයක් මා දන්නා පරිදි ප්‍රදේශයේ කිසිවෙකුට තිබුණේ නැත. සියලු ම කෘෂිකාර්මික කටයුතු සඳහා උපකාරයට ගන්නා ලද්දේ ගවයින් ය. දශක හතරකට හෝ අවුරුදු හතළිහකට පසු අද ගමේ අත් ටැක්ටර් දහයකට වැඩි ප්‍රමාණයක් හා රෝද හතරේ ටැක්ටරයක් දක්නට ඇති අතර ගවයන්ගෙන් කෘෂි කර්මාන්තය සඳහා උපකාර ගන්නේ අවම වශයෙනි. ඒ අත් ටැක්ටරයකින් සීසා ගත නොහැකි මඩ අධික කුඹුරක් සීසා ගැනීම සඳහා පමණි. මා දන්නා පරිදි දැනට මුළු ගමෙහිම සිටින්නේ කෘෂිකර්මාන්තය සඳහා උපකාර ගත හැකි ගවයින් හයක් හෝ අටක් පමණි.
එකල අප විසින් වී වලින් සහල් සකසා ගන්නේ බොහෝ දුරට වංගෙඩියක දමා කොටා ගෙන වුවද මගේ මතකයේ ආකාරයට මුළු ප්‍රදේශයටම එක් වී කොටන මෝලක් තිබිණ. අද ගල් වැලි රහිත ව වී කොටා සහල් ලබාදෙන මෝල් එකක්ද, සාමාන්‍ය පරිදි වී කොටා සහල් ලබාදෙන වී මෝල් දෙකක්ද ඇත.
මා සාමාන්‍ය පෙළ දක්වා ම පාඩම් කළේ බූමිතෙල් ආධාරයෙන් දල්වන ලද ලාම්පු වලින් වූ අතර උත්සවයක් අවස්ථාවක දී හෝ ගවයන් මගින් කොළ මඩින අවස්ථාවකදී පමණක් පැට්ට්‍රොමැක්ස් ලාම්පුවක් දල්වන ලදී. අද මාගේ අවුරුදු දහනවයක් පමන වන පුත්‍රයා පැට්ට්‍රෝමැක්ස් ලාම්පු හෝ භූමිතෙල් වලින් දල්වන ලාම්පු දැක නැත. විදුලිය නැති රාත්‍රී කාලයේ දී ලාම්පුවක් මගින් පාඩම් කළ හැකි ය යන්න ඔහුට විශ්මය දනවන කාරණයකි. ඒ තරම්ම අපගේ ප්‍රදේශය පසු කාලීනව විදුලිය ට ඇබ්බැහි විය.
මා කුඩා කල දී මුළු ප්‍රදේශයේම නිවෙස් වලට අවශ්‍ය ජලය ලබාගන්නා ලද්දේ ප්‍රදේශය මැදින් ගලා බස්නා කුඩා ඔය මගිනි. රෙදි සේදීම හා ස්නානය සඳහා ප්‍රදේශවාසීන් එම ඔයට ගිය අතර ඉහුම් පිහුම් සඳහා සහ අනිකුත් ක්‍රියාවන් සඳහා අවශ්‍ය ජලය භාජන මගින් නිවෙස් වලට රැගෙන යන ලදී. අද ප්‍රදේශයේ සියලුම නිවාස වලට නළ ජල පහසුකම් ඇති අතර ප්‍රදේශය මැදින් වතුර ගලාබසිනා ඔය අමතකම කොට දමා ඇත.
දැනට අවුරුදු හතළිහකට පමණ පෙර දී අප ප්‍රදේශයේ සිටියේ රජයේ රැකියා කළ දෙදෙනෙකු පමණක් වූ අතර බහුතරයකගේ ජීවනෝපාය වූයේ කෘෂිකර්මාන්තය හෝ දෛනික වැටුපට ඉඩම් හිමියන් යටතේ වැඩ කිරීමයි. අද ප්‍රදේශයේ සිටින බොහෝ අයවළුන් පාහේ රජයේ හෝ පුද්ගලික ආයතනයක රැකියාවක් කරන අතර දෛනික වැටුපට සේවකයෙක් සොයා ගැනීම ඉතා අසීරු වී ඇත.
මා කුඩා කල අප ප්‍රදේශයේ ගොඩනැගිලි කිහිපයකට සීමා වී තිබූ ප්‍රාථමික පාසල අද මධ්‍ය මහා විද්‍යාලයකි. ඊට අමතරව තවත් ප්‍රාථමික පාසලක් අපේ ප්‍රදේශයේ ඇත.
ඉහත ආකාරයට අප ප්‍රදේශයේ භෞතික වෙනස් වීම තව බොහෝ කරුණු මගින් හුවා දැක්විය හැකි ය. මෙය භෞතික දියුණුව ලෙස ද අර්ථ දැක්විය හැකිය.
දේශපාලනඥයින් විවේචනයට ලක් වන අනෙක් කරුණ වන්නේ “රට විදේශයන්ට ණය ය. එය අප ගෙවිය යුතු ය”. යන කරුණයි.
මා දන්නා පරිදි සංවර්ධිත යැයි කියාගන්නා රටවල් සියල්ල ම පාහේ ද පැරණි අධිරාජ්‍යවාදීව යටත් විජිත පවත්වාගෙන යමින් ඒවායේ සම්පත් කොල්ලකෑ රටවල් බොහෝමයක් ද ණය ලබා ගෙන එම රටේ දියුණුව සඳහා ආයෝජනය කොට ඇත. එමඟින් රටේ ජනතාවගේ භෞතික දියුණුව ඉහළ නංවා ඇත. මේ සඳහා හොඳ උදාහරණ වන්නේ ජපානය ඇමරිකාව වැනි දියුණු යැයි සම්මත රටවල් ය. ඉහත මා දැක්වූ කරුණු සැලකිල්ලට ගෙන කල්පනා කිරීමේදී හැඟී යන්නේ ශ්‍රී ලංකාව ද ණය ලබාගෙන සිදු කොට ඇත්තේ එය ම ය යන්න ය. එනම් රටේ භෞතික දියුණුව ඉහළ නැංවීම ය.
අනෙක් තර්කය නම් අපට රුපියල් සීයක ආදායමක් ලැබෙන අවස්ථාවක දී එම ආදායම රුපියල් දෙසීය කර ගැනීම සඳහා රුපියල් හැටක ණයක් ලබාගත හැකි නම් අපිට රුපියල් දෙසීයක ආදායමක් ලැබෙන විටද අපට ගෙවීමට සිදු වන්නේ රුපියල් හැටකි. එවිට රුපියල් සියයක් ලැබෙන විට රුපියල් හැටක් ගෙවන අවස්ථාවට වඩා රුපියල් දෙසීයක් ලැබෙන විට රුපියල් හැටක් ගෙවන අවස්ථාව පහසු ය. එ හෙයින් අපට ලැබෙන රුපියල් සියයේ ආදායම රුපියල් දෙසීය කර ගැනීම සඳහා රුපියල් හැටක ණයක් නොගත යුත්තේ මන්දැයි නොතේරේ, තවද ණයත් දෙනවනම්, එය පිළිවෙළකට ගෙවන්නත් හැකිනම්, එයින් අපගේ ආදායම රුපියල් සීයේ සිට දෙසීය දක්වා වැඩි කර ගත හැකි නම් එම ණය ලබා ගෙන අප ගේ ආදායම වැඩි කර නො ගත යුත්තේ මන්දැයි නොතේරේ. කළ යුතු වන්නේ එම ණය ලබා ගෙන අපේ ආදායම රුපියල් සියයේ සිට දෙසීය දක්වා වැඩි කර ගැනීමය යන්න මාගේ අදහසයි.
දේශපාලනඥයින් වෙත කෙරෙන අනෙක් ප්‍රධාන චෝදනාවක් වන්නේ ඔවුන්ගෙන් බහුතරය සොරුන් බවයි.
නමුත් මාගේ පුද්ගලික නිරීක්ෂණ අනුව නම් ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින්ගෙන් බහුතරයක් බලයෙන් පහ වීමෙන් පසු ව හිඟන්නන් වන බවයි. එසේ නැත හොත් අප රටෙහි සිටි පැරණි දේශපාලඥයින් ප්‍රසිද්ධ කෝටිපතියන් වී අද ව්‍යාපාර මඟින් කෝටිපතියන් වී සිටින අය අභිබවා සිටිය යුතු අතර වාර්ෂිකව පලවන ශ්‍රී ලංකාවේ කෝටිපතියන්ගේ ලැයිස්තුවෙහි අපගේ පැරණි දේශපාලනඥයින් අවම වශයෙන් පහළොස් දෙනකු වත් සිටිය යුතුය. මා දන්නා පරිදි නම් එසේ නො වේ. නමුත් අනෙක් හැමෝම මෙන් දේශපාලනඥයින් ද ඔවුන් ගේ මට්ටමින් සොරකම් කරනවා වන්නට ඇත. අනිවාර්යයෙන්ම එය වැළැක්වීමට ක්‍රියා කල යුතුය, නමුත් මාගේ තර්කය වන්නේ ඔවුන් සොරකම් කරන ගමන් රටේ දියුණුවට ද යම් දෙයක් සිදු කොට ඇති බවය.
අවසාන වශයෙන් අප මතක තබාගත යුතු දේ වන්නේ මේ තාක් කල් සිටි සෑම දේශපාලඥයෙකු ම අප විසින් පත් කොට යැව්වා වූ අය වන අතර සමහරුන් පමණක් අප විසින් පත් කොට යැවූ අය විසින් පත් කරන ලද අය ය යන්නයි . එහෙයින් රටේ ඇති වූ දියුණුව මෙන්ම අප විසින් පත් කරන ලද කිසිවකු හෝ ඔවුන් විසින් පත් කරන ලද කිසිවකු හෝ දූෂණ වංචා කටයුතු සිදු කළා නම් වක්‍රව හෝ එයට අපද වග කිව යුතු බවයි.
එ හෙයින් සීමිත ප්‍රදේශයකට පමණක් සීමා වී මෙම දේශපාලන භූමිකාව දෙස නො බලා එම දේශපාලනඥයින් සහ දේශපාලනය විසින් රටට කරන ලද වාසි සහ අවාසි හොඳින් මැන බලා අවාසි අවම කර ගැනීමට ක්‍රියා කරනු විනා ඔවුන් ව සහ ඔවුන්ගේ ක්‍රියාවන් අන්තගාමී ලෙස විවේචනය කරමින් පහත් මානසිකත්වයකින් හැසිරිය නො යුතුය යන්න මාගේ හැඟීමයි.