සබ්බ පාපස්‌ස අකරණං

බුද්ධ දර්ශනය සම්පිණ්ඩනය කිරීම - 1

0
15253

බුද්ධ දර්ශනය සම්පිණ්ඩනය කොට  විස්තර කිරිම සදහා  සියලුම බුදුවරුන් විසින් දේශිත පහත සඳහන් ගාථාව යොදා ගැනීම යෙහෙකැයි සිතේ.

සබ්බ පාපස්‌ස අකරණං
කුසලස්‌ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ධාන ශාසනං

මෙම ගාථාවෙන් කියවෙන පරිදි සියලු බුදුවරුන් ගේ අනුශාසනය වන්නේ සියලු පව් නොකිරීමද, කුසල් දියුණු කර ගැනීමද, සිය සිත පිරිසිදු කිරීමද වේ. (ධම්ම පදය – බුද්ධ වග්ගය, පස්‌වන ගාථාව).

මෙම ගාථාවෙහි සරල අදහස ඉදිරිපත් කළ හොත් එය පෙළ ගැසෙනුයේ පහත පරිදි වේ.

සබ්බ පාපස්‌ස අකරණං/සියලු පව් නොකිරීම

පාප හෙවත් අකුසල් ක්‍රියා වන්නේ, ප්‍රාණඝාතය, සොරකම, කාමයන්හි වැරැදි ලෙස හැසිරීම, බොරුකීම, කේලාම් කීම, පරුෂ බස්‌ කීම, නිෂ්ඵල වචන කීම, අන් අයකු සතු වස්‌තුව ලබාගැනීමට ආශා කිරීම, අන්‍යයන්ට අයහපතක්‌ වේවා යි සිතීම හා වැරැදි දැකීම (වැරදි දැකීම නම් මරණින් පසු නැවත උපතක් නැත, පින් පව් කියා දෙයක් නැත, පින් වලවත් පව් වලවත් විපාකයන් සිදුවෙන්නේ නැත, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක නැත, නිවන කියා දෙයක් තිබිය නො හැකිය යන ආදී වශයෙන් නිගමන වලට එල්බගෙන සිටීම ය) යන කරුණු දහය වේ. මෙම අකුසල් ක්‍රියාවන් වලින් සම්පූර්ණයෙන්ම ඉවත් වීම “සබ්බ පාපස්ස අකරණං” වේ. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන විට මෙම  අකුසල් වලින් ඉවත්වීම සිදු වේ.

කුසලස්‌ස උපසම්පදා/කුසල් දියුණු කර ගැනීම

ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ජීවත්වීම එනම් සම්මා දිටිඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මාසති, සම්මා සමාධි යන සම්‍යක් අංග අට හෙවත් යහපත් මාර්ග අංග අට සම්පූර්ණ කිරීම  ‘කුසලස්ස උපසම්පදා’ යනුවෙන් ගැනේ

(සම්මා දිට්ඨිය – චතුරාර්ය සත්‍යය – දුක පිළිබඳ , දුකට හේතුව පිලිබඳ, දුක නැති කිරීම පිලිබඳ හා දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳව ඇති මනා දැනුමයි. සම්මා සංකප්ප – තම සන්තානයේ ඇතිවන්නා වූ නිකෙලෙස් සිතිවිලිය. සත්ත්වයා ලෝකයට බැඳ තැබීමට හේතුවන කාම වස්තූන්ට ඇති ආශා අත්හැරීමේ සිතිවිලි (නෙක්ඛම්ම සංකප්ප), සන්තාන ගත ද්වේශය නැති කිරීමට ඉවහල් වෙන මෛත්‍රි සිතිවිලි (අව්‍යාපාද සංකප්ප), විහිංසා විතර්කයන් නසන කරුණා සිතිවිලි (අවිහිංසා සංකප්ප) යන සංකල්පනා තුනය. සම්මා වාචා – කුසල මූලයන්ගෙන් හටගත් නිවන කරා නැඹුරු වූ යම් කථාවක් වේනම්, එය සම්මා වාචාව ලෙස හඳුන්වයි. බොරුකීමෙන්, කේළාම් කීමෙන්, පරුෂ වචනයෙන් , හිස් වචනයෙන් වැළැකීම සම්මා වාචාව වෙයි. සම්මා කම්මන්ත – මනා වූ කායික ක්‍රියාකාරකම් සම්මා කම්මන්ත නමින් හැඳින්වේ. සත්ත්ව ඝාතනයෙන්, සොරකමින්, කාම මිථ්‍යාචාරයෙන් වැළැකීම සිදු කරන අතරම ඒවා සිදු කිරීමට ඇති ආශාවද අත්හැර දැමීම සම්මා කම්මන්ත ලෙස අදහස් කෙරේ. සම්මා ආජීව – රාගාදී කෙලෙස් දහම් ඇති නොවන ලෙසින් කරනු ලබන යහපත් දිවි පැවැත්ම (මස් පිණිස සතුන් වෙළඳාම, නපුරු අවි ආයුධ වෙළඳාම, වස විෂ වෙළඳාම, මස් වෙළඳාම හා මත්පැන් වෙළඳාම යන එවායින් වැළකී ජීවත් වීම)  සම්මා ආජීවය ලෙසින් දැක්විය හැකියි. සම්මා වායාම – වායාමය යනු, වෑයම් කිරීම හෙවත් උත්සාහය, ඒනම් අකුසල් සිතිවිලි ප්‍රහාණය කිරීම පිණිසත්, කුසල් සිතිවිලි වැඩිදියුණු කිරීම පිණිසත් යම්කිසි උත්සාහයක් වේනම් එය සම්මා වායාමය යි. සම්මා සතිය – කෙලෙස් ඇති නොවන ලෙසින් සිහිය පිහිටුවා ගැනීම සම්මා සතියයි. එනම් සතර සතිපට්ඨාන භාවනාව යි. (කායානුපස්සනා – (කය අනුව බැලීම) වේදනානුපස්සනා – (වේදනාවන් අනුව බැලීම) චිත්තානුපස්සනා – (සිත අනුව බැලීම) ධම්මානුපස්සනා (ධර්‍මානුකූලව බැලීම)) වැඩෙන ලෙස කටයුතු කිරීම සම්මා සතියයි. සම්මා සතිය සිත ඇලීමෙන් සහ ගැටීමෙන් වළක්වා ගෙන චිත්ත ඒකාග්‍රතාවය ඇතිකර ගැනීමට උපකාරි වෙයි. සම්මා සමාධි – සමාධිය යනු සිතෙහි ඇති වන එකඟතාවයි).

සචිත්ත පරියෝ දපනං/සිය සිත පිරිසිදු කිරීම

‘පරියොදපනං’ යනු පිරිසුදු කිරීමයි. තමාගේ සිත පිරිසුදු කිරීමේ ක්‍රම දෙකකි. පළමුවෙන්ම සමථ විදර්ශනා භාවනා මගින් පංච නීවරණ ප්‍රහාණයයි. (පංච නීවර්ණ – පංච ඉන්ද්‍රියයන්ගෙන්  – රූප ශබ්ද රස ගන්ඳ ආදීයෙන් ග්‍රහණය කරගන්නා කාම ලෝකය සඳහා තිබෙන තද බල ඇල්ම, ප්‍රතිවිරුද්ධ අරමුණු/පුද්ගලයින් ගැන ඇතිකරගන්නා වූ ගැටීම, කායික මානසික අලස බව, සිත සංසුන් කර ගැනීමේ නොහැකියාව හා ආර්ය අෂ්ටාංගික මාර්ගය හා එය වැඩීම මගින් ලැබෙන ප්‍රතිඵල පිළිබඳ පවතින සැකය) මගින් සිත පිරිසුදු කිරීමයි. දෙවනුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරමින් සිත පිරිසුදු කර ගැනීමයි.

ඒතං බුද්ධාන සාසනං/එනම් මෙය බුදුවරුන්ගේ ශාසනයයි

ශාසනය යනු ශික්ෂා මාර්ගයයි. ප්‍රතිපදාවයි. ධර්ම විනය යනුද එයයි. ‘ශාසන’ යන්නෙහි පණිවුඩය යන අර්ථයක්ද ඇත. ඒ අනුව ශික්ෂණය සඳහා බුදුවරුන් විසින් දෙන අවවාදයයි.

සියලුම බුදුවරුන් විසින් දේශිත ඉහත ගාථා ඛණ්ඩයෙන් ඉදිරිපත් වන කරුණු සලකා බැලීමේ දී බුද්ධ දර්ශනයේ සම්පිණ්ඩනය ලෙස ලැබෙනුයේ

චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය හා සතර සතිපට්ඨාන භාවනාව යි.

LEAVE A REPLY

Please enter your comment!
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න