නිවන් දකිනකම් අපි මැරෙන්නේ නෑ

0
19

ලෝකයාගේ සාමාන්‍ය සම්මුති අදහසට අනුව “මැරෙනවා” යනු ශාරීරික ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වය නතර වී, අවසාන හුස්ම පොද වාතලයට මුසු වී, සියල්ල අවසන් වීමයි. නමුත් බුදුදහමේ අභිධර්මයේ එන පරමාර්ථ සත්‍යයට අනුව විමසා බලන විට, මේ සම්මුතිගත මරණය යනු හුදෙක් එක් නාම-රූප පද්ධතියක තාවකාලික වෙනස් වීමක් පමණි. සිත තුළින් අවිද්‍යාව සහ තණ්හාව තුරන් වී නිවන් අවබෝධ වන තෙක්ම, සත්ත්වයා සැබවින්ම “මැරෙන්නේ” නැත. සිදුවන්නේ හේතු-ඵල පරම්පරාවක් ඔස්සේ චිත්ත ප්‍රවාහය නොනැවතී එක දිගට ගලා යාමයි.

අභිධර්මානුකූලව බලන කල, සත්ත්වයෙකුගේ ජීවිතය යනු ප්‍රතිසන්ධි, භවාංග සහ චුති යන සිත්වල සහ චිත්ත වීථිවල නොනැවතුණු සන්තතියකි. යම් භවයක පූර්ව කර්ම ශක්තියට අනුව පහළ වන පළමු ප්‍රතිසන්ධි සිතින් ආරම්භ වන සංසාරික පැවැත්ම, ජීවිත කාලය පුරාම භවාංග ප්‍රවාහය සහ පංචද්වාරික හෝ මනෝද්වාරික චිත්ත වීථි ඔස්සේ පවත්වා ගනු ලබයි. අතීත භවාංගයේ සිට භවාංග චලනය, භවාංග උපච්ඡේදය, පංචද්වාරාවජ්ජනය, පංචවිඤ්ඤාණය, සම්පටිච්ඡනය, සන්තීරණය සහ වොට්ඨපනය ඔස්සේ විකාශය වන චිත්ත වීථියක, අරමුණ විඳිමින් ක්‍රියාත්මක වන ජවන සිත් මඟින් අලුතින් කර්ම රැස් කරනු ලබයි. ජවන සිත් වලට පසුව ඇතිවන චිත්ත වීදියේ අවසාන සිත් වන තදාලම්බන සිත් නිරුද්ධ වීමෙන් (අවසාන වීමෙන්) පසුව සිත නැවත භවාංගයට බැස ගනී. මේ ආකාරයට මුළු ජීවිත කාලය පුරාම සිදුවන්නේ ක්ෂණයක් පාසා සිත්වල ඉපදීම, පැවැත්ම සහ නිරුද්ධ වීමයි.

යම් ජීවිතයක අවසාන මොහොත එළඹුණු විට, මරණාසන්න චිත්ත වීථියේදී ජවන සිත් පහකට පසු එම භවයේ අවසාන සිත වන චුති සිත පහළ වේ. ලෞකිකව “මරණය” ලෙස පෙනෙන්නේ මෙම චුති සිත නිරුද්ධ වන මොහොතයි. නමුත් අභිධර්මයේ පෙන්වා දෙන පරිදි, චුති සිත නිරුද්ධ වූ සැණින් කිසිදු කාල පරතරයකින් තොරව, පෙර පැවැති කර්ම බලවේගයේ අරමුණට අනුව ඊළඟ භවයේ ප්‍රතිසන්ධි සිත උපදී. ලෞකිකව “ඉපදීම” ලෙස පෙනෙන්නේ මෙම ප්‍රතිසන්ධි සිත උපදින මොහොතයි.

ඒ අනුව අප දන්නා “මරණය” යනු අවසානයක් නොවේ. එය එක් භවයක සිට තවත් භවයකට කෙරෙන චිත්ත ශක්තියේ සංක්‍රමණයකි. පටිච්ච සමුප්පාද ධර්මතාවයට අනුව “අවිජ්ජා පච්චයා සංඛාරා… ජාති පච්චයා ජරාමරණං” ලෙස භවයෙන් භවයට මේ චක්‍රය කැරකෙන්නේ හේතු පවතින නිසා ය. යම් තාක් කල් සිත තුළ අවිද්‍යාව සහ තණ්හාව පවතී ද, ඒ තාක් කල් අප දන්නා මරණයෙන් පසුව ද නැවත ප්‍රතිසන්ධියක් සිදුවේ. එසේ භවතල 31න් එකක නැවත ඉපදීමක් සිදුවන තාක්, සත්ත්වයාගේ පැවැත්ම අවසන් වන්නේ නැත. ඔහු අලුත් ශරීරයක, අලුත් නාම-රූප සමුදායක නැවත උපත ලබා එම පංචද්වාරික චිත්ත වීථි ක්‍රියාවලියම නැවතත් ආරම්භ කරයි.

සත්ත්වයෙකුගේ පැවැත්ම නැතහොත් මේ අනන්ත වූ “ඉපදීම” සහ “මැරීම” නමැති සංසාරික රෝදය සැබවින්ම නතර වන්නේ අර්හත් ඵලයට පත්වීමෙන්, එනම් නිවන් අවබෝධ කරගැනීමෙන් පමණි. නිවන යනු අවිද්‍යාව සහ තණ්හාව සහමුලින්ම ක්ෂය කිරීමයි. එසේ කෙලෙස් ක්ෂය වූ උතුම් රහතන් වහන්සේ නමකගේ මරණාසන්න චිත්ත වීථියේදී පහළ වන චුති සිතින් පසුව, නැවත ප්‍රතිසන්ධි සිතක් පහළ වීමට අවශ්‍ය “කර්ම ශක්තිය” නොමැති වේ. එවිට චිත්ත සන්තතියේ නිරෝධය, එනම් පරිනිරෝධය සිදුවේ. එනම්, අප දන්නා “ඉපදීම” නැතිවී අප දන්නා “මරණය” අවසන් වේ.

එබැවින්, නිවන් දකින තෙක්ම අප මිය යන්නේ නැත. අප කරන්නේ අතීත භවාංගයේ සිට චුති සිත දක්වාත්, චුති සිතේ සිට නැවත ප්‍රතිසන්ධි සිත දක්වාත් දිවෙන චිත්ත සංසාරයේ හේතු-ඵල ප්‍රවාහයට හසුවී, නොනැවතී භවයෙන් භවයට ගමන් කිරීම පමණි. අප දන්නා “මරණය” යනු පැවැත්මේ නිමාවකට වඩා නව ඇරඹුමකට කෙරෙන දොරටුවක් පමණක් වන බැවින්, නිවනින් තොරව සංසාරයේ ස්ථිර මරණයක් හෝ අවසානයක් නොමැත.

මැරෙන්නම ඕනෑ නම් තණ්හාව නැති කරන්න!

LEAVE A REPLY

Please enter your comment!
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න