ක්‍රි. ව. 1739 දී කන්ද උඩරට රාජධානියේ 11 වන රජු වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ අභාවයත් සමඟ කන්ද උඩරට රාජධානියෙහි කිරුළ සඳහා අනුප්‍රාප්තික අර්බුදයක් මතුවිය. රජුට සිටි එකම පුත්‍රයා සිංහල සුළු බිසවකගෙන් ලැබූවෙකු වූ අතර ඔහුගේ මවගේ කුලය සම්බන්ධ ගැටළුවක් හේතුවෙන් ඔහු කන්ද උඩරට කිරුළ දැරීමට සුදුසු නොවන බව තීරණය විය.
මේ හෙතුවෙන්, දකුණු ඉන්දියාවේ සිටි තෙළිඟු හා දෙමළ භාෂාව කතා කරන නායක්කාර් ගෘහයේ සාමාජිකාවක වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ ප්‍රධාන බිසවගේ සහෝදරයෙකුට ඔටුන්න හිමි වූයේ භික්ෂු වැලිවිට සරණංකර හිමිගේද සහායෙන් බැව් පැවසේ. එම වර්ෂයේ අග භාගයේදී ඔහු ශ්‍රී විජය රාජසිංහ ලෙස කන්ද උඩරට රාජධානියෙහි රජ විය.
නායක්කාර් රජවරු තෙළිඟු සම්භවයක් ඇති හින්දු ආගම ඇදහූවන් වුවද ථේරවාද බුද්ධාගමේ අනුග්‍රාහකයෝ වූහ. ශ්‍රී ලංකාවේ ථෙරවාද බුද්ධාගම පුනර්ජීවනය කිරීම සඳහා නායක්කාර් පාලකයෝ විශාල කාර්යභාරයක් ඉටු කළහ.
ඔවුන් දෙමළ භාෂාව කතා කළ හෙයින් එය මහනුවර උසාවියේ භාෂාවක් ලෙස සිංහල සමඟ භාවිතා විය. නමුත් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ පාලන සමයේදී, නායක්කාර්වරු උසාවියේ ප්‍රමුඛ තනතුරුවලට පත් කිරීමට දැරූ උත්සාහය කැරැල්ලක් ඇති කිරීමට හේතු විය.
කන්ද උඩරට රාජධානියෙහි 13 වන රජු වූ නායක්කාර් පවුලට අයත් කීර්ති ශ්‍රී රාජසිංහට රජුටද ප්‍රධාන කැරලි දෙකක් සමඟ කටයුතු කිරීමට සිදුවිය. පළමුවැන්න ක්‍රි.ව.1749 දී ඇති වූ අතර දෙවැන්න ක්‍රි.ව. 1760 දී ඇති විය. දෙවැන්න වඩාත් භයානක කැරැල්ලක් වූ අතර රජු වෙනුවට සියම් කුමාරයෙකු පත් කිරීමටද උත්සාහ කළේය. කෙසේ වෙතත්, මෙම ආතතීන් නායකකර් රාජවංශය විඳදරාගත්හ.
ශ්‍රී විජය රාජසිංහ සහ කීර්ති ශ්‍රී රාජසිංහගේ පාලන සමය තුළ, ක්‍රි.ව.1741, ක්‍රි .ව.1743 සහ ක්‍රි.ව.1745 දී ලන්දේසින්ට යටත් භූමිය ආක්‍රමණය කිරීම් රාශියක් කන්ද උඩරට රාජධානියේ හමුදාවන් විසින් කරන ලදී.
ක්‍රි.ව.1761 දී, කීර්ති ශ්‍රී රාජසිංහ රජු මුහුදු බඩ ප්‍රදේශයන් නැවත අල්ලා ගැනීම සඳහා විශාල ආක්‍රමණයක් දියත් කළ අතර, එයින් මාතර සහ හන්වැල්ල මෙන්ම කන්ද උඩරට රාජධානියේ දේශසීමාවහි පිහිටි දිස්ත්‍රික්ක ගණනාවක් නැවත තම පාලනයට නතු කර කර ගැනීමට එතුමාට හැකි විය.
නමුත් ක්‍රි.ව.1762 දී ලන්දේසීන් මාතර සහ හන්වල්ල නැවත අල්ලා ගත්හ. ලන්දේසීන් ක්‍රි.ව.1763 දී පුත්තලම් සහ හලාවත ප්‍රදේශද අල්ලා ගත්හ. ඉන්පසු කන්ද උඩරට අගනගරය වූ මහනුවර දෙපැත්තකින් ආක්‍රමණය කල ලන්දේසීන් එය ගිනිබත් කලහ. අගනගරය වෙත සතුරු හමුදා පැමිනෙන විට එය ජනයා ගෙන් හිස්ව තිබු හෙයින් අගනගරයද අවට පිහිටි කෘෂිකාර්මික ඉඩම්ද ලන්දේසීන් විසින් විනාශ කරන ලදී. මේ හෙයින් ක්‍රි.ව.1764 වන විට රාජධානියෙහි සාගතයක්ද ඇති විය. ක්‍රි. ව. 1765 වනවිට රටේ මුහුදුබඩ පාලත් සියල්ලම නැවත ලන්දේසීන් අතට පත් වු අතර එයින් කන්ද උඩරට රාජධානිය සම්පූර්ණයෙන්ම පාහේ බාහිර ලෝකයෙන් වෙන්විය.
බ්‍රිතාන්‍යයන් ගේ ආගමනය හා ලන්දේසින් ඉවත්ව යෑම
කීර්ති ශ්‍රී රාජසිංහ රජු ක්‍රි.ව.1762 දී බ්‍රිතාන්‍යයන්ගෙන් ආධාර ඉල්ලා සිටියද ඔවුන් සමග එම අවස්ථාවේදි සන්ධාන ගත වීමට ඔහු අසමත් විය.
ක්‍රි. ව. 1590 සිට බ්‍රිතාන්‍ය නාවිකයින් සහ පූජකවරුන් කිහිප දෙනෙකු ශ්‍රී ලංකාවට ගොඩ බැස තිබුණද, වඩාත් ප්‍රසිද්ධ වූයේ රොබට් නොක්ස් ය. ක්‍රි. ව. 1681 දී II වන රාජසිංගේ රජුගේ පාලන සමයේ ඔහු ලැබූ අත්දැකීම් පදනම් කරගෙන එකල ලංකාවේ පසුබිම සම්බන්ධයෙන් An Historical Relation of the Island Ceylon (සිංහල පරිවර්තනය එදා හෙලදිව – කතෘ ඩෙවිඩ් කරුනාරත්න) නමින් ක්‍රි. ව. 1691 දී රොබට් නොක්ස් ව්සින් ග්‍රන්ථක්ද සම්පාදනය කර ඇත.
ක්‍රි. ව. 1782 ජනවාරි 8 වන දින බ්‍රිතාන්‍යයන් විසින් ලන්දේසීන්ගෙන් ත්‍රිකුණාමලයේ බලකොටු අල්ලා ගන්නා ලදී. “ත්‍රිකුණාමල නාවික සටනින්” පසු එම වසරේම අගෝස්තු 29 වන දින ප්‍රංශ ජාතිකයින් එය නැවත ලබා ගත්තද, ක්‍රි. ව. 1783 දී ප්‍රංශ ජාතිකයන් එය බ්‍රිතාන්‍යයන්ට ආපසු භාර දුන් අතර පසුව බ්‍රිතාන්‍යය විසින් ත්‍රිකුණාමලය නැවත ලන්දේසි ජනරජයට පැරිස් සාම ගිවිසුම (ක්‍රි.ව. 1783 වර්සායිල් ගිවිසුම) යටතේ භාර දෙන ලදී.
ක්‍රි. ව. 1795 දී බ්‍රිතාන්‍යයන් ත්‍රිකුණාමල නගරය නැවත අත්පත් කර ගත්හ. අගෝස්තු 28 සිට 31 දක්වා ත්‍රිකුණාමලයද, සැප්තැම්බර් 18 වන දින මඩකලපුවද,සැප්තැම්බර් 28 වන දින යාපනයද මුලුමනින්ම අල්ලා ගනිමින් බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාවේ ලන්දේසි දේපළ වේගයෙන් අත්පත් කර ගත් අතර, ක්‍රි. ව 1796 පෙබරවාරියේදී බ්‍රිතාන්‍යයන් විසින් දිවයිනේ ලන්දේසි පාලනය අවසන් කර දමන ලදී.
ක්‍රි. ව. 1782 ජනවාරියේදී මෙම සිදුවීම් මධ්‍යයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු මිය ගිය අතර, ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ ඔහුගේ සහෝදර ශ්‍රී රාජාධි රාජසිංහ රජුය.
බ්‍රිතාන්‍යයන් විසින්ද කන්ද උඩරට රාජධානිය කීප වතාවක් ම ආක්‍රමණය කරන ලද අතර ඒ සෑම අවස්ථාවකදීම බ්‍රිතාන්‍යයන්ට පසු බැසීමට සිදු විය.
ක්‍රි. ව. 1798 ජූලි 26 දින දී ශ්‍රී රාජාධි රාජසිංහ රජු අනුප්‍රාප්තිකයෙකු නම් නොකර මියයාමෙන් පසුව සම්ප්‍රදාය අනුව හිටපු රජු ගේ බිරිඳගේ සහෝදරයාට කන්ද උඩරට කිරුළ හිමි නොවූ අතර ශ්‍රී රාජාධි රාජසිංහ රජු ගේ බෑණනුවන් කෙනකු වූ කන්නසාමි නැමති කුමරු හට මහ අදිකාරම් හෙවත් කන්ද උඩරට අගමැති ධූරය හා සමාන ධුරයක් හෙබවූ පිළිමතලාවේ මහ අදිකාරම් ගේ අනුදැනුම මත කිරුළ හිමි විය. මෙම කන්නසාමි නැමති කුමරු ශ්‍රී වික්‍රම රාජසිංහ ලෙස කන්ද උඩ රට රජ විය.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ගේ අත්තනෝමතික ක්‍රියාවන් නිසා ඔහු වෙත කන්ද උඩරට ජනතාව තබා තිබූ පැහැදීම නැති වී ගියේය.
රජු ලෙස පත් වීමට උපකාර කළ පිළිමතලාවේ මහ අදිකාරම් තුමා ද රජුට විරුද්ධව ක්‍රි. ව. 1810 දි කැරළි ගැසූ අතර, රජු විසින් ඔහු ගේ හිස ගසා මරණයට පත් කරන ලදී. පසු ව පිළිමතලාවේ මහ අදිකාරම් වරයාගේ බෑණනුවන් කෙනකු වූ ඇහැළේපොළ නිලමේද මෙසෙ පිළිමතලාවේ මහ අදිකාරම් ලෙස ම සැකයට භාජනය වූ අතර ඔහු බ්‍රිතාන්‍යයන් වෙත පලා යාම හේතුවෙන් ඔහුගේ පවුලේ උදවිය එනම් ළදරු වියෙහි පසු වූ දරු තිදෙනා හා බිරිඳද රජු විසින් ක්‍රි. ව. 1814 දි මරා දමවන ලදී. මෙම ක්‍රියා හේතුවෙන්ද පන්සල් හා විහාර භූමි වලට අයත් ව තිබූ ඉඩම් හා වටිනා දේ රජු විසින් බලහත්කාරයෙන් පවරා ගැනීම නිසා ද ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බෞද්ධ භික්ෂූන් අතරද ප්‍රතික්ෂේපිත තත්ත්වයකට පත් විය.
ක්‍රි. ව 1814 නොවැම්බරයේදී බ්‍රිතාන්‍ය යටත්වැසියන් දස දෙනෙකු කන්ද උඩරට භූමියේ දී අල්ලා විකෘති කරන ලද අතර රටේ මුහුදු බඩ ප්‍රදේශ පාලනය කළ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් ක්‍රි.ව.1815 ජනවාරියේදී බ්‍රිතාන්‍ය හමුදා සේනාංක කිහිපයකට වෙරළබඩ බලකොටුවලින් ගොඩබිමට යාමට නියෝග කළේය. සබරගමුවේ ඇහැලේපොල දිසාවගේ අනුප්‍රාප්තිකයා වූ සහ කෝරාළ හතරේ දිසාව වූ මොලිගෝඩ දිසාව ද පෙබරවාරි මාසයේ දී බ්‍රිතාන්‍යයන් වෙත පලා ගියේය. මහනුවර නගරය පෙබරවාරි 14 වන දින ද, ඇහැලේපොළ දිසාවට හිතවත් පිරිස් විසින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පෙබරවාරි 18 වන දිනද අල්ලා ගන්නා ලදී. රජු පසුව ඉන්දියාවට පිටුවහල් කරනු ලැබූ අතර ක්‍රි. ව. 1832 දි ඔහු එහිදී මිය ගියේය. ඔහුගේ පුතා ක්‍රි. ව.1843 දී දරුවන් නොමැතිව මිය ගියේය.
1815 මාර්තු 2 වන දින බ්‍රිතාන්‍ය නියෝජිතයන් වු ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් සහ ජෝන් ඩි ඔයිලි ඇතුළු බ්‍රිතාන්‍ය නිලධාරීන් පිරිසක් කන්ද උඩරට රාජධානියේ වංශවත් අය හෙවත් ප්‍රාදේශීය නායකයින් මුණගැසී කන්ද උඩ රට ගිවිසුම සකසන ලදී.
කන්ද උඩරට ගිවිසුම් ප්‍රකාරව ශ්‍රී ලංකාවේ බුද්ධාගම ආරක්ෂා කිරීමටත්, දැනට පවතින පළාත් පාලන ක්‍රමයන් අඛණ්ඩව පවත්වාගෙන යෑමටත් බ්‍රිතාන්‍යයන් ප්‍රධාන වශයෙන් එකඟ වූහ. එතැන් පටන් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය රජු වූ III වන ජොර්ජ් රජුගේ ආරක්ෂිත දේශයක් බවත්, බ්‍රිතාන්‍යයන්ට නිදහසේ ශ්‍රී ලංකාව තුළ තම වෙළඳාම කරගෙන යා හැකි බවත්, ප්‍රාදේශීය නායකයින් එකඟ වූහ.
ගිවිසුම් ගත වී වසර 12ක් පහක් ගත වීමට මත්තෙන්, බ්‍රිතාන්‍යයන් රට පරිපාලනය කරන ආකාරය සම්බන්ධව නොපැහැදුණු ප්‍රාදේශීය පාලකයින් සහ ජනතා ව ක්‍රි.ව. 1817 දී කැරලි ගැසූහ. මෙම කැරැල්ල වෙල්ලස්ස ප්‍රදේශයෙන් ආරම්භවී වලපනේ ප්‍රදේශය දක්වා පැතිර ගියේය. එහෙයින් මෙය වෙල්ලස්සේ කැරැල්ල ලෙස ප්‍රසිද්ධ විය. ක්‍රි.ව. 1817 නොවැම්බර් 26 වන දින වන විට දී බ්‍රිතාන්‍යයන් විසින් කැරැල්ල මැඩ පවත්වන ලද අතර එයට සහභාගි වූ සියළුම නායකයින් ගේ හිස ගසා දමන ලදී. කැප්පිටිපොල හා මඩුගල්ලේ යන දිසාවේවරුන් මේ අතර සිටි අතර, ඇහැලේපොල දිසාව ද බ්‍රිතාන්‍යයන් විසින් සිරභාරයට ගන්නා ලදී. වෙල්ලස්ස කැරැල්ලෙන් පසු ව කන්ද උඩරට රාජධානිය හා බ්‍රිතාන්‍යය අතර වූ සම්මුතිය අහෝසි වූවක් ලෙස සැලකූ බ්‍රිතාන්‍යයන් සිංහල ප්‍රාදේශීය නායකයින් ගේ බලය බිඳ දැමීමට ක්‍රියා කළහ. ක්‍රි.ව. 1820, ක්‍රි. ව. 1823 සහ ක්‍රි.ව.1824 දී කුඩා නැගිටීම් සිදු වුවද, ඒ කිසිවක් කඳුකරයේ බ්‍රිතාන්‍ය රජයට බරපතල තර්ජනයක් නොවීය.
මෙසේ වර්ෂ දෙදහස් තුන්සියකට වඩා වැඩි කාලවකවානුවක් ස්වාධීනව හා සිය ස්වෛරීත්වය ආරක්ෂා කර ගනිමින් සිටි සිංහලයින් ගේ නිවහල් භාවය වසර එකසිය පනහක් හෙවත් සියවස් එක හමාරක් පමන යන තුරු අහිමි විය.