කුඩා මුදියන්සේ ගිරාගම දියවඩන නිලමේතුමා සහ මහනුවර පිහිටි ගිරාගම වලව්ව

0
2834

ලේඛකයා

කුසුමා පුංචිකුමරිහාමි ගිරාගම නම් කුඩා මුදියන්සේ ගිරාගම දියවඩන නිලමේතුමාගේ ඥාති දියනියක විසින් සැකසීමට යෙදුනා වූ “කුඩා මුදියන්සේ ගිරාගම දියවඩන නිලමේතුමා 1882 – 1897” නැමත ග්‍රන්ථය ආශ්‍රයෙන් ලබාගන්නා ලද කරුණු මෙම ලිපියෙහි ඇතුළත් වේ. ඇය තම විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසුව අවුරුදු තිහකට අධික කාලයක් ගුරුවරියක ලෙස සේවය කොට විශ්‍රාම ගොස් සිටින තැනැත්තියකි.

ගිරාගම පෙලපත

ගිරාගම පෙළපතෙහි අයවලුන් කාලිංග දේශයේ වංශවත් බ්‍රාහ්මණ පවුලකින් පැවත ගෙන එන බව ජනප්‍රවාදයෙහි සඳහන්ය.

එම පරපුරේ අයවලුන් ගේ නමට ඉදිරියෙන් “නවරත්න සෙනවිරත්න රාජකරුණා හේරත් මුදියන්සේ රාළහාමිල්ලාගේ” යන වාසගම ඇතුළත් වේ. 

පේරාදෙණියේ වීරසුන්දර මුදලි හෙවත් ගලගොඩ වීරසුන්දර බණ්ඩාරයන්ගේ සම්බන්ධය

ක්‍රි.ව. 1583 දි සීතාවක පලමුවන රාජසිංහ රජු විසින් කන්ද උඩරට රාජධානිය ආක්‍රමණය කර, දකුණු ඉන්දියානු ජාතික ශිව ආගමිකයෙකු වූ අරිට්ඨකී වෙන්ඩූ හෙවත් නම වෙනස් කිරිමෙන් පසුව මන්නම්පෙරුම මොහොට්ටාල ලෙස හැදින්වුණු අය ලවා රාජධානියෙහි වූ වෙහෙර විහාර විනාශ කරවන ලදී. එම හෙතුවෙන් සීතාවක රාජසිංහ රජුට විරුද්ධව කන්ද උඩරට රාජධානියෙහි ඇති වූ කැරලි වලට නායකත්වය දුන් වීරසුන්දර මුදලි හෙවත් පේරාදෙණියේ ගලගොඩ වීරසුන්දර බණ්ඩාර එනම්, කන්ද උඩරට රාජධානියෙහි ක්‍රි.ව. 1590 සිට ක්‍රි.ව. 1604 දක්වා රජ කල පළමුවන විමලධර්මසූරිය රජුගේ පියාගේ පරපුරට ගිරාගම පරපුර අයත් බැව් විශ්වාස කෙරේ.

ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ දී ලන්දේසි සමඟ සටන් කොට ජය ගත් පළමුවන විමලධර්මසූරිය රජුගේ ඥාති සොහොයුරෙකු වූ මුන්වත්තෙ ගලගොඩ අදිකාරම්තුමා (ක්‍රි. ව. 1742 – ක්‍රි. ව 1782) හා සකලසුරිය බණ්ඩාර මුන්වත්තේ අදිකාරම්තුමාද මෙම පරපුරට අයත් වේ.

සීතාවක රාජ්‍යය  සමයෙහි එහි දිසාව තනතුරක් ගිරාගම දිසාව විසින් හොබවන ලද අතර එතුමා විවාහ වී ඇත්තේ යටිනුවර ඒදඬුවාව පවුලෙනි. ඒදඬුවාව දිසාව ලෙව්කේ දිසාවගේ බෑණනු කෙනෙකි. විජේවර්ධන රාජකරුණා හේරත් මුදියන්සේ ලෙව්කේ දිසාව ක්‍රි.ව.1798 සිට ක්‍රි.ව. 1815 දක්වා කන්ද උඩරට රාජධානියෙහි රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කාලයේ දී සතර කෝරලයේ දිසාව පදවිය දරා ඇත. 

යටිනුවර ඒදඬුවාව දිසාපතිතුමිය

ශ්‍රී ලංකාවේ පළමු වරට කාන්තාවක දිසාපතිනියක ලෙස පත්ව ඇත්තේ කන්ද උඩරට රාජධානියෙහි ක්‍රි.ව. 1590  සිට ක්‍රි.ව. 1604 දක්වා රජ කල පළමුවන විමලධර්මසූරිය රජුගේ රාජ්‍ය කාලයේදීය. දක්ෂ අංගම් පොර ශිල්පිනියක වූ ඇය එක් කලක සියලුම පිරිමින් පරදවා අංගම් පොර දිනා ඇත. එහෙයින් ඇයව දිසාපතිනි තනතුරකට රජු විසින් පත් කරන ලද බව කියවේ. 

ලෝරි (Archibald Campbell Lawrie) ගේ සටහන් වල සදහන් විස්තරයන්

(Archibald Campbell Lawrie – https://en.wikipedia.org/wiki/Archibald_Campbell_Lawrie)

ලෝරි සටහන් අතර ක්‍රි.ව. 1716 දී එනම් වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු කල (ක්‍රි.ව 1707 – ක්‍රි.ව. 1739) ගිරාගම රාළහාමි සතර කෝරළේ දිසාව ලෙසත් ත්‍රී සිංහලයේ මහ ලේකම් ලෙසත් සේවය කල බව පෙනේ. (ලෝරි පිටුව 283) එම රජු කළ නින්දගම් සහ පරවේණි ඉඩම් පැවරීමේ දී රජයේ ඉහළම නිලධාරියකු ඉදිරිපිට දී එම පැවරීම සිදු කළ යුතු වු අතර එවැනි ලිපියකට හඟුරන්කෙත රජමාලිගයේදි ත්‍රි සිංහලයේ මහ ලේකම් ලෙසත් සතර කෝරළේ දිසාව ලෙසත් ගිරාගම රාළහාමි අත්සන් තබා ඇත. එම ලිපිය නම් මෙගොඩතිහ කෝරලයේ දන්තුරාළගෙ පතනවලතැන්න අස්වැද්දුම පැවරුම් ලිපියයි. (ලෝරි පිටු 199-200 හා දියතිලක නුවර ස්මාරක එස් බී දිසානායක පිටුව 46) ක්‍රි.ව. 1714 දී ගිරාගම හේරත් මුදියන්සේ සතර කෝරළේ දිසාව ලෙස කටයුතු කළ බව ලෝරි පවසයි. මේ අනුව ගිරාගම රාළහාමි සහ ගිරාගම හේරත් මුදියන්සේ යනු එකම පුද්ගලයෙකු බව පෙනේ.

ක්‍රි.ව. 1817 දී බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව කන්ද උඩරට රාජධානියෙහි ඇති වූ වෙල්ලස්සේ කැරැල්ලට සහභාගී වීම හේතුවෙන් ක්‍රි.ව. 1818 දී ගිරාගම බස්නායක නිළමේතුමා අත්අඩංගුවට ගෙන කොළඹට යවනු ලැබීමෙන් පසුව එහිදී මිය ගියේය. මෙම බස්නායක නිලමේතුමා යටිනුවර දියකෙළිනාවල රටේ මහතාගේ පුත්‍රයෙකි. (උඩරට මහ කැරැල්ල පිටුව 311)

පිළිමතලාවේ මහ අදිකාරම්තුමාට ඇති සම්බන්ධය 

පිළිමතලාවේ මහ අදිකාරම්තුමා විවාහ වී ඇත්තේ යටිනුවර දියකෙළිනාවල පවුලෙනි. කුඩා මුදියන්සේ ගිරාගම දියවඩන නිළමේතුමා යටිනුවර ගිරාගම බස්නායක නිලමේතුමාගේ බෑණනුවන් කෙනෙකි. එනම් කුඩා මුදියන්සේ ගිරාගම දියවඩන නිලමේතුමා යටිනුවර ගිරාගම බස්නායක නිලමේතුමාගේ  සහෝදරයෙකුගේ පුතෙකි. 

යටිනුවර ගිරාගම බස්නායක නිළමේතුමා පිලිමතලාව මහ අදිකාරම්තුමාගෙ මුනුපුරාණන් කෙනෙකු වේ. ගිරාගම පෙලපතෙහි මව්ගම කෑගල්ලේ ගොඩගම වන අතර ඔවුනට යටිනුවරට උරුමකම ලැබෙනුයේ  පිලිමතලාව මහ අදිකාරමතුමා ගේ ඉහත සඳහන් විවාහය හේතුවෙනි. 

ගිරාගම බස්නායක නිලමේතුමාගේ පිලිරුවක් දන්තුරේ විහාරස්ථානය

යටිනුවර දන්තුරේ රජමහා විහාරයේහි ඇති විස්තරයන්

කොළඹ නුවර මාර්ගයේ පිළිමතලාව නගරයෙන් වමට හැරී කිලෝමීටර හතරක් පමණ ගිය කළ දන්තුරේ ගම හමුවේ. දන්තුරේ රජමහ විහාරය දන්තුරේ නගරයේ සාප්පු සංකීර්ණයට පිවිසීමට පෙර ප්‍රධාන මාර්ගයේ වම් පස පිහිටා ඇත. එහි ඇතුළත ඉදිරිපස බිත්තියේ කුඩා මුදියන්සේ ගිරාගම දියවඩන නිලමේ තුමාගේ රුවක් සායම් කොට ඇත. මෙම විහාරයෙහි ගිරාගම බස්නායක නිලමේතුමාගේ පිළිරුවක්ද නිමවා ඇත. බෝධිය අසල ඇති ශිලා ලේඛනයෙහි සඳහන් වන්නේ මෙහි ගොඩනැගිලි කරවන ලද්දේ කුඩා මුදියන්සේ ගිරාගම දියවඩන නිලමේතුමන් විසින් බවයි.

දන්තුරේ රජමහා විහාරයේ ඇති පුවරු ලිපිය 

කාලය – ක්‍රිස්තු වර්ෂ 19 වන සියවස, අක්ෂර – නූතන සිංහල, භාෂාව – නූතන සිංහල 

අන්තර්ගතය 

දන්ත කුමාරයා විසින් ප්‍රතිසංස්කරණය කරවන ලද දන්තුරේ විහාරස්ථානය නටබුන්ව තිබූ හෙයින් දළදා මාලිගාවේ දියවඩන නිලමේ තැන්පත් යටිනුවර ගිරාගම රාජකරුණා නවරත්න සෙනෙවිරත්න රාළහාමි ප්‍රධාන පිරිස විසින් විහාරස්ථානය අලුත්වැඩියා කිරීම පිළිබඳ සෙල්ලිපියේ සඳහන් වේ. දෙහිගම අතපත්තු වාසල නවරත්න  කුමාරිහාමි හා රටදාගම වැවතැන්න ගමෙහි සියලු දෙනා විසින් විහාරස්ථානයේ සත්රියන් දාගැබක්, සංඝාරාමයක් හා පොකුණක් ද කරවා ඇති බවද සදහන්ය. බුද්ධ වර්ෂ 2427 වැන්නේ (ක්‍රි.ව. 1884) වෙසක් මස අවසානයේ සිට මේ පූජාවන් කරන ලද බව ද එහි සඳහන්ය. තවද මෙම විහාරස්ථානයෙහි  නඩත්තුව සදහා කුඹුරු වතුපිටි පූජා කරන ලද බව ලිපියේ සඳහන් වේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, රාජ්‍ය උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය 

කුඩා මුදියන්සේ ගිරාගම දියවඩන නිලමේතුමා

ක්‍රි.ව. 1882 සිට ක්‍රි.ව. 1897 දක්වා මහනුවර දළදා  මාළිගාවෙහි දියවඩන නිලමේ රාජකාරිය කරනු ලබනුයේ කුඩා මුදියන්සේ ගිරාගම නිලමේ තුමාය. දළදා මාළිගාවේ දියවඩන නිලමේ ලෙසත් රටේ මහත්තයා ලෙසත් ඔහු කටයුතු කලේය. 

මේ පරම්පරාවට හිමි යටිනුවර ගිරාගම වලව්ව හෙවත් පිලිමතලාව ගුරු විද්‍යාලය පිහිටි ගොඩනැගිලි අයත්ව තිබූ වලව්ව කුඩා මුදියන්සේ ගිරාගම දියවඩන නිලමේතුමාගේ පදිංචි නිවාසය විය. මෙතුමගේ මව බෝවන්ගේ කුමාරිහාමිය. කුඩා මුදියන්සේ ගිරාගම දියවඩන නිලමේ තුමා විවාහ වී සිටියේ දෙහිගම ටිකිරි කුමාරිහාමි සමගය. (ලෝරි පිටුව 145) අද සෙන්ට්‍රල් ෆිනෑන්ස් මූල්‍ය ආයතනය පිහිටා තිබෙන්නේ එම කුමාරිහාමිගේ පවුලේ අයට අයත් නගරයේ පිහිටි වලව්ව තිබූ ගොඩනැගිල්ලේය. කුඩා මුදියන්සේ ගිරාගම දියවඩන නිලමේතුමාටද මහනුවර නගරයෙහි වලව්වක් තිබු අතර වර්තමානයේදී එය මහනුවර ගිරාගම වලව්ව නමින් ව්‍යාපාරික ගොඩනැඟිල්ලක් ලෙස පවතී.

පොළොන්නරුවේ සෝමාවතී චෛත්‍යය ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ මහත්සේ වෙහෙස දැරූ ගිරාගම දියවඩන නිළමේතුමා එම කැණීම් කරන අවස්ථාවේදී කකුලේ පාදයක ඇති වූ තුවාලයක ලේ විෂවීමෙන් මරණයට පත් විය. (ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතාගේ ලිපියකින් උපුටා ගන්නා ලදී.)

ලේඛකතුමියගෙ සම්බන්ධතාවය 

මෙහි කර්තෘ වූ කුසුමා පුංචි කුමාරිහාමි ගිරාගමගේ  පියා කුඩා මුදියන්සේ ගිරාගම දියවඩන නිලමේ තුමාගේ සහෝදරයෙකුගේ පුත්‍රයෙකි. ඔහු නමින් මද්දුම බණ්ඩා දොඩන්තලේ ගිරාගම නිලමේ තුමාය.

දකුණ – ජේ. අර්. පරණ්ගම (රටේ මහත්මයා – ඌවේ දිසාව)
මැද – කුඩා මුදියන්සේ ගිරාගම (රටේ මහත්මයා – යටිනුවර)
වම – ටි. බි පානබොක්කේ (රටේ මහත්මයා – සබරගමු)
(ක්‍රි.ව. 1876 ජනවාරි 15 – THE ILLUSTRATED LONDON NEWS පුවත්පත)

ලේඛකතුමියගෙ බාල කාලයෙහි මතක සටහන් 

”කුඩා මුදියන්සේ ගිරාගම දියවඩන නිලමේතුමා මාගේ පියාගේ ලොකු අප්පච්චිය. එනම් මාගේ පියාගේ පියාගේ වැඩිමහල් සහෝදරයායි. අප ජීවත් වූ නිවසේ මැද සාලේ ඉතා අලංකාර ලෙස නිමකර තිබූ ආරුක්කුවේ කණුවක් මත මුල් ඇඳුමින් සැරසුණු කුඩා මුදියන්සේ ගිරාගම දියවඩන නිලමේතුමාගේ  ඡායාරූපයක් තබා තිබුණි. ආරෝහ පරිණාහ දේහයකින් හෙබි ඔහු කුඩා මා තුළ ඇති කළේ බියකි. ඔහු ඉතා ශක්තිමත් අයකු බවත් එමෙන්ම නිර්භීත බවත් මම අසා ඇත්තෙමි.”

”මාගේ පියා ඉපදී ඇත්තේ ක්‍රි.ව. 1896 දී පමණ සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දොඩන්තලේ නම් ගම්මානයේය. කුඩා මුදියන්සේ දියවඩන නිලමේතුමා එහි පැමිණි විට මාගේ පියාට ශත දහයේ රිදී කාසියක් දී යන බව මාගේ පියා පවසනු මා අසා ඇත.”

”කුඩා මුදියන්සේ ගිරාගම දියවඩන නිලමේතුමාගේ වලව්ව මහනුවර නගරයේ පිහිටි බවත් දෙහිගම කුමාරිහාමි ඔහුගේ කුමාරිහාමි බවත් මාගේ පියා පවසනු මා අසා ඇත.”

LEAVE A REPLY

Please enter your comment!
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න