පටුන
පටිච්චසමුප්පාදය නම් කවරේද?
පටිච්චසමුප්පාද ධර්මයේ මූලික අර්ථය හා එහි පරම වැදගත්කම
හැඳින්වීම
පටිච්චසමුප්පාදය නම් කවරේද?
o අනුලෝමව
o ප්‍රතිලෝමව
විස්තර කිරීම
අවිද්‍යා පච්චයා සංඛාරා
- අවිද්‍යාව (Ignorance)
- සංස්කාර (Volitional Formations)
සංඛාර පච්චයා විඤ්ඤාණං - විඤ්ඤාණය (Consciousness)
විඤ්ඤාණ පච්චයා නාමරූපං - නාමරූප (Mental & Physical Components)
නාමරූප පච්චයා සළායතනං - සළායතන (Six Sense Bases)
සළායතන පච්චයා ඵස්සෝ - ඵස්සය (Contact)
ඵස්ස පච්චයා වේදනා - වේදනාව (Feeling)
වේදනා පච්චයා තණ්හා - තණ්හාව (Craving)
තණ්හා පච්චයා උපාදානං - උපාදානය (Grasping)
උපාදාන පච්චයා භවෝ - භවය (Becoming)
භව පච්චයා ජාති - ජාතිය (Birth)
ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති - ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දොමනස්ස, උපායාස (Ageing, Death, Sorrow, Lamentation, Pain, Grief, and Despair)
සාරාංශය
පටිච්චසමුප්පාද චක්‍රය හා එයින් මිදීම
පටිච්චසමුප්පාදය නම් කවරේද?
පටිච්චසමුප්පාද ධර්මයේ මූලික අර්ථය හා එහි පරම වැදගත්කම
හැඳින්වීම
මහණෙනි, පටිච්චසමුප්පාදය කවරේ ද? මහණෙනි, අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. විඥානප්‍රත්‍යයයෙන් (නාමය ද, රූපය ද,) නාමරූපය ද වේ. නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතනය ද වේ. ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදානය වේ. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ. භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ, සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගණිත්. මෙසේ මේ හුදු දුඃඛස්කන්‍ධයාගේ උත්පත්තිය වේ. මහණෙනි, මේ (ප්‍රත්‍යයාකාරය) පටිච්චසමුප්පාද ය යයි කියනු ලැබේ.
කතමො ච භික‍්ඛවෙ, පටිච‍්චසමුප‍්පාදො? අවිජ‍්ජාපච‍්චයා භික‍්ඛවෙ සඞ‍්ඛාරා. සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං. විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං. නාමරූපපච‍්චයා සළායතනං. සළායතනපච‍්චයා ඵස‍්සො. ඵස‍්සපච‍්චයා වෙදනා. වෙදනාපච‍්චයා තණ‍්හා. තණ‍්හාපච‍්චයා උපාදානං. උපාදානපච‍්චයා භවො. භවපච‍්චයා ජාති. ජාතිපච‍්චයා ජරාමරණං, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. අයං වුච්චති භික‍්ඛවෙ පටිච‍්චසමුප‍්පාදො.
(පටිච‍්චසමුප‍්පාදසුත‍්තං – සංයුත‍්තනිකායො – නිදානවග‍්ගො – අභිසමයසංයුත‍්තං – බුද‍්ධවග‍්ගො)
https://tipitaka.lk/sn-2-1-1-1/sinh
පටිච්චසමුප්පාද ධර්මය යනු බුදු දහමේ හරය ලෙස සැලකෙන, සත්ත්වයාගේ පැවැත්මේ හා දුක මූලික වූ සංසාර චක්‍රයේ ක්‍රියාකාරිත්වය පැහැදිලි කරන මූලධර්මයකි. එහි මූලික සිද්ධාන්තය ඛුද්ධකනිකායේ දුතියබොධි සුත්‍රයේ “ඉති ඉමස්මිං සති ඉදං හොති, ඉමස‍්සුප‍්පාදා ඉදං උප‍්පජ‍්ජති, ඉමස්මිං අසති ඉදං න හොති, ඉමස‍්ස නිරොධා ඉදං නිරුජ‍්ඣති.” (“මෙසේ මෙය ඇති කල්හි මෙය වේ. මෙය ඉපැද්මෙන් මෙය උපදනේ ය. මෙය නොමැති කල්හි මෙය නො වේ. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ.”) ලෙස දැක්වේ. මෙමගින් එක් දෙයක් නිසා තවත් දෙයක් හටගන්නා ආකාරයත්, එම හේතුව නැතිවීමෙන් එහි ඵලය ද නැතිවී යන ආකාරයත් පැහැදිලි කෙරේ. මෙම ලිපියෙහි අරමුණ වන්නේ, පටිච්චසමුප්පාද ධර්මය ත්‍රිපිටකයේ මහානිදාන සූත්‍රය, විභඞග සූත්‍රය, අභිධර්මාර්ථ සඞග්‍රහ පුරාණ සන්නය සහ විභංග පකරණය වැනි මූලාශ්‍ර පාදක කරගනිමින් විද්වත් මට්ටමින් විග්‍රහ කිරීමයි.
පටිච්චසමුප්පාදය නම් කවරේද?
අනුලෝමව:
- අවිද්‍යාව නිසා සංස්කාරයෝද,
- සංස්කාර නිසා විඤ්ඤාණයද,
- විඤ්ඤාණය නිසා නාමරූපද,
- නාමරූප නිසා සළායතනද,
- සළායතන නිසා ඵස්සයද,
- ඵස්සය නිසා වේදනාවද,
- වේදනාව නිසා තණ්හාවද,
- තණ්හාව නිසා උපාදානයද,
- උපාදානය නිසා භවයද,
- භවය නිසා උප්පත්තියද,
- උප්පත්තිය නිසා,
- ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝද ඇතිවෙත්.
ප්‍රතිලෝමව:
- අවිද්‍යාව මුළුමනින් නැතිවීමෙන්ම සංස්කාරයන්ගේ නැතිවීමද,
- සංස්කාරයන්ගේ නැතිවීමෙන් විඤ්ඤාණයේ නැතිවීමද,
- විඤ්ඤාණයේ නැතිවීමෙන් නාමරූපයන්ගේ නැතිවීමද,
- නාමරූපයන්ගේ නැතිවීමෙන් සළායතනයන්ගේ නැතිවීමද,
- සළායතනයන්ගේ නැතිවීමෙන් ඵස්සය නැතිවීමද,
- ඵස්සය නැතිවීමෙන් වේදනාව නැතිවීමද,
- වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවීමද,
- තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවීමද,
- උපාදානය නැතිවීමෙන් භවය නැතිවීමද,
- භවය නැතිවීමෙන් ජාතිය නැතිවීමද,
- ජාතිය නැතිවීමෙන්,
- ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවීමද වෙත්.
විස්තර කිරීම
අවිද්‍යා පච්චයා සංඛාරා
- අවිද්‍යාව (Ignorance)
“අවිද්‍යාව” (Avijjā) යනු හුදෙක් ‘යමක් නොදැන සිටීම’ යන්නට වඩා ගැඹුරු අර්ථයක් ඇති, සංසාර චක්‍රයට හෙවත් නැවත ඉපදීමට මූලිකම හේතුව ලෙස දේශනා කර ඇති ධර්මතාවකි. එහි විස්තරය මෙසේය.
සූත්‍රානුකූල මූලික නිර්වචනය
ත්‍රිපිටකයේ අවිද්‍යාව පිළිබඳ ඇති පැහැදිලිම සහ සම්මත නිර්වචනය හමුවන්නේ සංයුත්ත නිකායේ විභංග සූත්‍රයේය. පටිච්චසමුප්පාදයේ පළමු අංගය වන අවිද්‍යාව එහි මෙසේ විග්‍රහ කර ඇත:
“දුක්ඛෙ අඤ්ඤාණං, දුක්ඛසමුදයෙ අඤ්ඤාණං, දුක්ඛනිරොධෙ අඤ්ඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ්ඤාණං. අයං වුච්චති භික්ඛවෙ, අවිජ්ජා.”
එනම්, “දුඃඛසත්‍යයෙහි යම් නොදැනීමක්, දුඃඛසමුදයසත්‍යයෙහි යම් නොදැනීමක්, දුඃඛනිරෝධසත්‍යයෙහි යම් නොදැනීමක්, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාසත්‍යයෙහි යම් නොදැනීමක් වේ ද, මහණෙනි, මේ අවිද්‍යාව යයි කියනු ලැබේ.”
ඒ අනුව,
අවිද්‍යාව යනු:
- දුක්ඛේ අඤ්ඤාණං: දුක පිළිබඳ නොදැනීම. (ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී දුක්ඛයන් යථාර්ථයෙන් අවබෝධ නොකිරීම).
- දුක්ඛසමුදයේ අඤ්ඤාණං: දුක හටගැනීමට හේතුව පිළිබඳ නොදැනීම. (දුකට හේතුව තණ්හාව බව යථාර්ථයෙන් අවබෝධ නොකිරීම).
- දුක්ඛනිරෝධේ අඤ්ඤාණං: දුක නැති කිරීම පිළිබඳ නොදැනීම. (දුකෙහි නිරෝධය නිර්වාණය බව යථාර්ථයෙන් අවබෝධ නොකිරීම).
- දුක්ඛනිරෝධගාමිනියා පටිපදාය අඤ්ඤාණං: දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ නොදැනීම. (දුක් නිරුද්ධ කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය බව යථාර්ථයෙන් අවබෝධ නොකිරීම).
සරලවම කිවහොත්, අවිද්‍යාව යනු චතුරාර්ය සත්‍යය පිළිබඳ ඇති මුලාව හෙවත් ලෝකයෙහි යථා ස්වභාවය සම්බන්ධව ඇති මුලාවයි.
අවිද්‍යාවේ ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය
අවිද්‍යාව යනු තොරතුරු නොදැනීමක් පමණක් නොව, යථාර්ථය විකෘති කොට දකින මානසික තත්ත්වයකි. එනම්:
- ත්‍රිලක්ෂණය වසන් කිරීම: අවිද්‍යාව නිසා ලෝකයේ සැබෑ ස්වභාවය වන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය වැසී යයි.
I. අනිත්‍ය දේ නිත්‍ය ලෙස දැකීම: වෙනස්වන සුළු දේවල්, ස්ථිර සදාකාලික දේවල් ලෙස වරදවා වටහා ගැනීම.
II. දුක්ඛ දේ සුඛ ලෙස දැකීම: පීඩාකාරී, අතෘප්තිකර දේවල්, සැපදායක සතුට ගෙන දෙන දේවල් ලෙස වරදවා වටහා ගැනීම.
III. අනාත්ම දේ ආත්ම ලෙස දැකීම: ස්ථිර “මම” හෝ “ආත්මයක්” (ආත්මය යනු, නිත්‍ය හෙවත් කිසිසේත්ම වෙනස් නොවන, ශාශ්වත හෙවත්, මරණින් මතු නොවෙනස්ව පවතින, ස්ථිර හෙවත් නොසෙල්වෙන, කල්පවතින, භාවයයි.) නොමැති පංචස්කන්ධය තුළ ස්ථිර ආත්මයක් ඇතැයි යන මුලාව ඇතිකර ගැනීම හෝ ‘කිසිවක් තමාගේ වසඟයෙහි නොපවත්නා බව’ නොදැකීම.
තමාගේ වසඟයෙහි නොපවත්නා බව (Not under one’s control): යම් හෙයකින් රූපය (භෞතික ශරීරය සහ එය සෑදී ඇති මූලද්‍රව්‍ය) “මගේ ආත්මය” වූයේ නම්, “මාගේ රූපය මෙසේ වේවා! මෙසේ නොවේවා!” යි තමාට අවශ්‍ය පරිදි පාලනය කළ හැකි විය යුතුය. එහෙත් එය කළ නොහැකිය. එමෙන්ම වේදනා (විඳීම හෙවත් හැඟීම් එනම් සැප, දුක්, සහ මධ්‍යස්ථ හැඟීම්), සංඥා (හඳුනාගැනීම), සංඛාර (සංඛාර යනු, කර්ම සකස් කරන චේතනා (චේතනා යනු “ක්‍රියාවකට පොළඹවන මානසිකත්වය” හෝ “යම් අරමුණක් සඳහා සිත මෙහෙයවන මානසික ක්‍රියාකාරීත්වය”) ඇතුළු අනෙකුත් සියලුම මානසික ක්‍රියාකාරකම් වේ). විඤ්ඤාණ (අරමුණක් දැනගැනීමේ ස්වභාවය හෙවත් සිත) යන සතර නාමස්කන්ධය ද තමාගේ පාලනයට නතු නොවේ.
එසේ නම් අනාත්ම යනු කුමක්ද? එය, “පුද්ගලයා” හෝ “සත්ත්වයා” ලෙස අප හඳුන්වන සංසිද්ධිය තුළ නිත්‍ය, ස්ථිර, නොවෙනස් වන, ස්වාධීන ආත්මයක්, සාරයක් හෝ ජීවයක් නොමැති බව පෙන්වා දෙන මූලධර්මයයි.
අනාත්ම දහමට අනුව, ” සත්ත්වයා” යනු ස්ථිර දෙයක් නොව, හේතු-ඵල ධර්මයට අනුව නිරන්තරයෙන් හටගනිමින් නැතිවෙමින් පවතින ක්‍රියාවලියකි. මෙම ක්‍රියාවලිය පංචස්කන්ධයේ (රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ) එකතුවකින් සහ අන්තර් සම්බන්ධතාවකින් සමන්විත වේ.
- මුලාව සහ විපරීත දැක්ම: අවිද්‍යාව යථාර්ථය වසන් කරන නිසා, සත්ත්වයා වැරදි දේ නිවැරදි ලෙසත්, අහිතකර දේ හිතකර ලෙසත් දකී.
පටිච්චසමුප්පාදයේ දී අවිද්‍යාවේ කාර්යභාරය
අවිද්‍යාව, දුක්ඛිත සංසාර චක්‍රය ආරම්භ කරන ප්‍රධානතම සාධකයයි. අවිද්‍යාව නිසා:
- මුලාවෙන් ක්‍රියා කිරීම: චතුරාර්ය සත්‍යය සහ ත්‍රිලක්ෂණය නොදකින නිසා, සත්ත්වයා නිත්‍ය සැපයක් සොයා කුසල සහ අකුසල කර්ම (සංස්කාර) රැස් කරයි.
- සංසාරය නිර්මාණය කිරීම: මෙම සංස්කාර හේතුවෙන් විඤ්ඤාණය , නාමරූප ආදී වශයෙන් හේතු-ඵල දාමය ක්‍රියාත්මක වී, නැවත නැවත ඉපදෙමින් දුක් විඳින සංසාර චක්‍රය නිර්මාණය වේ.
බුදු දහමට අනුව, සංසාරයේ පළමු ආරම්භයක් සොයාගත නොහැකි නිසා, අවිද්‍යාවේ ද පළමු ආරම්භයක් නොපෙනේ (අනමතග්ග හෙවත් නො දත් කෙළවර ඇති සංසාරය).
අවිද්‍යාව නැති කිරීම (විද්‍යාව පහළ වීම)
අවිද්‍යාව නැති කිරීම නිර්වාණ මාර්ගයේ පරම අරමුණයි. මේ සඳහා;
• පඤ්ඤා (ප්‍රඥාව) ඇතිකර ගැනීම: අවිද්‍යාවේ විරුද්ධ ධර්මය වන්නේ “විජ්ජා” (විද්‍යාව) හෙවත් “පඤ්ඤා” (ප්‍රඥාව) යි. එනම්, චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීම සහ අප ඇතුළු ලෝකයේ පවතින සියලුම දේ ස්ථිර නොවන (අනිත්‍ය), ඒ නිසාම තෘප්තිමත් විය නොහැකි (දුක්ඛ), සහ ස්ථිර ආත්මයක් නොමැති (අනාත්ම) හේතු-ඵල දාමයකට අනුව ක්‍රියාත්මක වන ධර්මතාවයන්ය යන යථාර්ථයන් පිළිබඳ නිවැරදි අවබෝධයයි.
• අවිද්‍යාව නිරුද්ධ කිරීමේ මාර්ගයට ප්‍රවේශ වීම: අවිද්‍යාව නිරුද්ධ කළ හැක්කේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමෙන් පමණි. විශේෂයෙන්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රඥා ගණයට අයත්:
o සම්මා දිට්ඨි (නිවැරදි දැක්ම): චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීම. (මෙය අවිද්‍යාවට ඇති සෘජු ප්‍රතිකර්මයය).
o සම්මා සංකප්ප (නිවැරදි සංකල්පනා): නෙක්ඛම්ම (කෙලෙසුන්ගෙන් නික්මීම), අව්‍යාපාද (අන්‍යයන් කෙරෙහි කෝප නො වන ස්වභාවය) හා අවිහිංසා සංකල්පනා වැඩීම.
කළ යුතුය.
සාරාංශයක් ලෙස, අවිද්‍යාව යනු සංසාරයේ සිරවී දුක් විඳීමට මූලික වන, චතුරාර්ය සත්‍යය, ත්‍රිලක්ෂණය, නොදැන සිටීම ආදී වූ ගැඹුරු මුලාවකි. තවද, මෙය සියලු අකුසල මූලයන්හි මුල ලෙස ද සැලකේ. බුදු දහමේ අරමුණ වන්නේ ත්‍රිලක්ෂණය හා චතුරාර්ය සත්‍යය අවබෝධ කොට ගෙන, මෙම අවිද්‍යාව දුරු කර සසර දුකින් නිදහස් වීමයි.
- සංස්කාර (Volitional Formations)
ත්‍රිපිටක ධර්මයේ එන ගැඹුරුම සහ පුළුල්ම අර්ථයක් ඇති වචනයක් ලෙස ‘සංස්කාර’ (පාලි: සංඛාර) හැඳින්විය හැකිය. මෙහි වචනාර්ථය නම් “එකට එක්වී සකස් වූ දෙය”, “හේතූන්ගෙන් හටගත් දෙය” හෝ “සංයෝග වූ දෙය” යන්නයි. ත්‍රිපිටකයේ ප්‍රධාන ඉගැන්වීම් තුනකදී මෙම “සංස්කාර” පදය විවිධ අර්ථවලින් යෙදේ;
- පටිච්චසමුප්පාදයේ දෙවන අංගය ලෙස (සංස්කාර) (විභංග සූත්‍රය – සංයුත්ත නිකාය)
- පංචස්කන්ධයේ හතරවන ස්කන්ධය ලෙස (සංඛාරස්කන්ධය) (අනිත්‍ය සූත්‍රය – සංයුත්ත නිකාය)
- හේතූන්ගෙන් හටගත් සියලු ධර්මයන් ලෙස (සංස්කාර) (විනයපිටකය – මහාවග‍්ගපාළියා – මහාක‍්ඛන්‍ධකං – පළමු බණවර 29)
එමනිසා, එහි අර්ථය තේරුම් ගත යුත්තේ එය යෙදෙන සන්දර්භයට අනුවය. - පටිච්චසමුප්පාදයේ දෙවන අංගය ලෙස (සංස්කාර)
පටිච්චසමුප්පාදය අනුව සංස්කාර යනු අනාගත භවයක් සඳහා කර්ම ශක්තිය ගොඩනගන මානසික ක්‍රියාවලියයි. අවිද්‍යාවේ බලපෑම යටතේ හටගන්නා චේතනා හෙවත් කර්ම, ‘සංස්කාර’ නම් වේ. මෙහිදී “සංස්කාර” යනු චේතනාන්විතව සිදුකරන කුසල සහ අකුසල කර්මයන්ය. එනම්, අනාගත භවයක් නිර්මාණය කිරීමට හේතුවන කායික, වාචසික සහ මානසික ක්‍රියාකාරකම්ය. බුදුරජාණන් වහන්සේ, “චෙතනාහං භික‍්ඛවෙ කම‍්මං වදාමි, චෙතයිත්‍වා කම‍්මං කරොති කායෙන වාචාය මනසා” (නිබ‍්බෙධික සුත්‍රය – අඞ්ගුත්තරනිකාය) (“මහණෙනි, මම චේතනාව කර්‍ම යැ යි කියමි. සිතා කයින් වචනයෙන් මනසින් කර්‍ම කෙරේ) යනුවෙන් දේශනා කොට වදාළේ මෙම අර්ථයෙනි. මෙසේ කායසංස්කාර, වාක්සංස්කාර සහ චිත්තසංස්කාර යනුවෙන් මෙම සංස්කාර තෙවර්ගයකි.
කර්ම විපාක තීරණය කරන සංස්කාර තුනකි:
I. පුඤ්ඤාභිසංඛාර (Puññābhisaṅkhāra): පුණ්‍ය සංස්කාර. දානය, ශීලය, භාවනාව වැනි කුසල චේතනාවෙන් කරන ක්‍රියායි. මේවා මනුෂ්‍ය හා දිව්‍ය ලෝක වැනි සුගතිගාමී භූමිවල ඉපදීමට හේතු වේ.
II. අපුඤ්ඤාභිසංඛාර (Apuññābhisaṅkhāra): අපුණ්‍ය සංස්කාර. ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල මූලයන්ගෙන් යුතුව කරන පාප ක්‍රියායි. මේවා අපාය, තිරිසන්, ප්‍රේත වැනි දුගතිගාමී භූමිවල ඉපදීමට හේතු වේ.
III. ආනෙඤ්ජාභිසංඛාර (Āneñjābhisaṅkhāra): නොසෙල්වෙන සංස්කාර. අරූපාවචර ධ්‍යාන වැඩීමෙන් ඇති කරගන්නා බලවත් කුසල චේතනායි. මේවා අරූපී බ්‍රහ්ම ලෝකවල ඉපදීමට හේතු වේ.
චේතනා අනුව සංස්කාර ඇතිවන අයුරු, පුඤ්ඤාභිසංඛාර නම් කාමාවචර කුශල චේතනා අට ද, රූපාවචර කුශල චේතනා පස ද යන තෙළෙස් කුශල චේතනා ය. අපුඤ්ඤාභිසංඛාර නම් අකුශල චේතනා දොළොස ය. ආනෙඤ්ජාභිසංඛාර නම් අරූපාවචර කුශල චේතනා සතර ය. (අභිධර්ම චන්ද්‍රිකාව – පූජ්‍ය පණ්ඩිත මාතර ශ්‍රී ධර්මවංශ නාහිමියන්)
- පංචස්කන්ධයේ හතරවන ස්කන්ධය ලෙස (සංඛාරස්කන්ධය)
මෙහිදී ‘සංස්කාර’ යන්න වඩාත් පුළුල් අර්ථයක් ගන්නා අතර, එය සංඛාරස්කන්ධය (Saṅkhārakkhandha) ලෙස හැඳින්වේ. පංචස්කන්ධය නම්: රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යනුවෙනි.
අභිධර්මයට අනුව, සංඛාරස්කන්ධය යනු වේදනා (විඳීම) සහ සංඥා (හැඳිනීම) හැර, ඉතිරි සියලුම මානසික ක්‍රියාකාරකම්, චෛතසික ධර්ම සහ චේතනා ඇතුළත් වන කාණ්ඩයයි., එනම්, චෛතසික 52න් 50ක්ම සංඛාරස්කන්ධයට අයත් වේ. මෙම චෛතසික, සිතේ ක්‍රියාකාරීත්වය සකස් කරමින් ලෝකය පිළිබඳ අපගේ අත්දැකීම් නිර්මාණය කරයි. මෙහිදී ද, කර්ම සකස් කරන ප්‍රධාන සාධකය වන චේතනාව ප්‍රමුඛතම සංස්කාරය ලෙස සැලකේ. (අභිධර්මාර්ථ සඞග්‍රහ පුරාණ සන්නය – පණ්ඩිත වලගෙදර සොමාලොක තිස්ස නාහිමි – සප්තම පරිචේඡදය, 29 ඡේදය – 213 පිටුව)
- හේතූන්ගෙන් හටගත් සියලු ධර්මයන් ලෙස (සංස්කාර)
මෙය ‘සංස්කාර’ යන්නෙහි ඇති පුළුල්ම සහ දාර්ශනිකම අර්ථයයි. මෙහිදී සංස්කාර යනු හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්, සකස් වූ සියලුම භෞතික (රූප) සහ මානසික (නාම) ධර්මයන් වේ. එනම්, හේතුවක් නිසා හටගෙන, හේතුව නැති වූ විට නැති වී යන, ලෝකයේ පවතින සියල්ලම සංස්කාර වේ. (විනයපිටකය – මහාවග‍්ගපාළියා – මහාක‍්ඛන්‍ධකං – පළමු බණවර 29). මෙම අර්ථය ත්‍රිලක්ෂණය දේශනා කිරීමේදී ද යොදාගැනේ (ධම්මපදය – ඛුද්දක නිකාය – ධම‍්මපදපාළි – මග‍්ගවග‍්ගො – 277, 278 හා 279 ගාථා)
මෙම අර්ථයට අනුව, අපගේ ශරීරය, සිත, අප දකින ලෝකය, ගස්-වැල්, ගොඩනැගිලි, සිතුවිලි යන සියල්ලම සංස්කාර වේ. හේතූන්ගෙන් හට නොගත්, සකස් නොකරන ලද (අසංඛත) එකම ධර්මය නිර්වාණය පමණි. එබැවින් නිර්වාණය සංස්කාරයක් නොවේ.
ඉහත කරුණු සාරාංශයක් ලෙස ගත්විට සංස්කාර යනු:
පටිච්චසමුප්පාදයේදී: කර්ම සකස් කරන චේතනා.
පංචස්කන්ධයේදී: වේදනා, සංඥා හැර අනෙක් සියලු චෛතසික.
ත්‍රිලක්ෂණයේදී: හේතූන්ගෙන් හටගත් සියලු රූප සහ නාම ධර්ම.
සාරාංශයක් ලෙස, ‘සංස්කාර’ යනු “හේතූන්ගෙන් සකස් වූ දෙය” යන පුළුල් අර්ථය දෙන, යෙදෙන සන්දර්භය අනුව අර්ථය වෙනස් වන පදයකි. පටිච්චසමුප්පාදයේදී, එය අනාගත භවය සකස් කරන කුසල-අකුසල කර්මීය චේතනා (volitional actions) ලෙස හැඳින්වෙන අතර, ත්‍රිලක්ෂණයේදී, එය හේතූන්ගෙන් හටගත් සියලු ධර්මයන් ලෙස හැඳින්වේ. හේතූන්ගෙන් හටනොගත් එකම ධර්මය වන නිර්වාණය පමණක් සංස්කාරයක් නොවේ.
සංඛාර පච්චයා විඤ්ඤාණං
- විඤ්ඤාණය (Consciousness)
මෙහිදී ‘විඤ්ඤාණය’ (අරමුණක් දැනගැනීම) යන්නෙන් ප්‍රධාන වශයෙන් අදහස් කරන්නේ ප්‍රතිසන්ධි විඤ්ඤාණය (rebirth-linking consciousness) යි. එනම්, අතීත භවයේ රැස් කරන ලද කුසල-අකුසල කර්මයන්ගේ (සංස්කාරයන්ගේ) ශක්තියේ ප්‍රතිඵලයක් ලෙස මරණින් පසු නව භවයක මව්කුසක් තුළ මුලින්ම හටගන්නා සිතයි. එම සිත, පැරණි භවයේ අවසන් සිත (චුති සිත) නිරුද්ධ වීමත් සමඟම, එම භවයේ අවසාන මොහොතේ බලවත් වූ කුසල හෝ අකුසල කර්මයක ශක්තිය හේතුවෙන්, කිසිදු අතරමැදි කාලයකින් තොරව, නව භවයේ හටගන්නා පළමු සිත (ප්‍රතිසන්ධි සිත) යි. මෙහිදී වැදගත්ම කරුණ නම්, කිසිදු ආත්මයක්, ප්‍රාණයක් හෝ නොවෙනස් දෙයක් එක් භවයකින් තවත් භවයකට ගමන් නොකරන බවයි. සිදුවන්නේ, හේතුවක් (අතීත කර්මය) නිසා ඵලයක් (නව විඤ්ඤාණයක්) හට ගැනීම පමණි. මෙම ප්‍රතිසන්ධි විඤ්ඤාණය විසින් නව භවයේ ස්වභාවය තීරණය කරයි. එනම්, සත්ත්වයා උපදින්නේ මනුෂ්‍ය ලෝකයේද, දේව ලෝකයේද, නැතහොත් අපායේද යන්නත්; ඔහුගේ සහජ හැකියාවන් (ත්‍රිහේතුක, ද්විහේතුක ආදී) (අන්ත සටහන් බලන්න) කෙසේද යන්නත් තීරණය වන්නේ මෙම පළමු සිතේ ස්වභාවය අනුවය.
“විඤ්ඤාණය” යනු අරමුණක් දැනගැනීමේ ස්වභාවයයි. (මහාවේදල්ල සූත්‍රය – මජ‍්ඣිමනිකාය) එය චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, මනෝ යනුවෙන් ආයතන හය අනුව වර්ග වේ. මෙසේ චක්ඛුවිඤ්ඤාණය, සෝතවිඤ්ඤාණය, ඝාණවිඤ්ඤාණය, ජිව්හාවිඤ්ඤාණය, කායවිඤ්ඤාණය සහ මනෝවිඤ්ඤාණය යනුවෙන් විඤ්ඤාණ රාශි හයකි.
මහානිදාන සූත්‍රයට අනුව, මෙම විඤ්ඤාණය මව්කුසට නොබැස්සේ නම්, එහි නාම-රූප (කලලයක්) හටගැනීමක් සිදු නොවේ. එබැවින්, භවයෙන් භවයට සත්ත්වයා ගෙන යන සම්බන්ධීකාරකයා ලෙස මෙම ප්‍රතිසන්ධි විඤ්ඤාණය ක්‍රියා කරයි.
එසේ, අතීත භවයේ අවිද්‍යා සහ සංස්කාර හේතුවෙන් ජනිත වූ කර්ම ශක්තිය, වත්මන් භවය හා සම්බන්ධ කරනුයේ විඤ්ඤාණය විසිනි. මරණාසන්න මොහොතේ, අතීත කර්මයන්ට අදාළ අරමුණක් (කර්ම, කර්ම නිමිති, ගති නිමිති) මනසට ලැබුණු විට, ඒ අනුව නව භවයකට නැඹුරු වූ ප්‍රතිසන්ධි විඤ්ඤාණය හට ගනී. මෙය සංසාර චක්‍රයේ එක් භවයකින් තවත් භවයකට සංක්‍රමණය වන ක්‍රියාවලියේ ඉතා වැදගත් පියවරකි.
විඤ්ඤාණය සහ නාම-රූප අතර අන්‍යෝන්‍ය යැපීම
ත්‍රිපිටකයේ විඤ්ඤාණය පිළිබඳව ඇති වැදගත්ම ඉගැන්වීම නම්, එය ස්වාධීන, නිත්‍ය “ආත්මයක්” නොවන බවයි. එසේම, එය නාම-රූප (සිත සහ කය) මත යැපෙමින් පවතී. මහානිදාන සූත්‍රයේ මෙය මෙසේ පැහැදිලි කරයි:
“විඤ්ඤාණ පච්චයා නාමරූපං” (විඤ්ඤාණය නිසා නාම-රූප පවතී).
“නාමරූප පච්චයා විඤ්ඤාණං” (නාම-රූප නිසා විඤ්ඤාණය පවතී).
බුදුරජාණන් වහන්සේ මෙය එකිනෙකට හේත්තු කර තැබූ “නළ දෙකක්” (two sheaves of reeds) මෙන් බව දේශනා කළහ. එකක් ඉවත් කළහොත් අනෙක ද ඇද වැටේ. එලෙසම, විඤ්ඤාණයට නාම-රූප රහිතව හෝ නාම-රූපවලට විඤ්ඤාණය රහිතව පැවතිය නොහැක (reciprocal relationship).
සාරාංශයක් ලෙස, විඤ්ඤාණය යනු, අතීත කර්ම (සංස්කාර) බලයෙන් නව උපතක් (ප්‍රතිසන්ධිය) ඇති කරන සහ ඉන්ද්‍රියන් හරහා නිරන්තරයෙන් හටගෙන නැසෙන, අනිත්‍ය, දැනගැනීමේ ක්‍රියාවලියකි.
විඤ්ඤාණ පච්චයා නාමරූපං
- නාමරූප (Mental & Physical Components)
“නාමරූප” යන පදය සෑදී ඇත්තේ වචන දෙකක එකතුවීමෙනි:
- නාම (Nāma): “නැමෙන සුළු” යන අර්ථය දෙයි. මෙයින් අදහස් කරන්නේ අරමුණු වෙත නැමෙන, අරමුණු දැනගැනීමට නැඹුරු වන චෛතසික ධර්මයන් ය. සරලවම, “සිත” හෝ “මානසික ක්‍රියාවලිය” යි.
- රූප (Rūpa): “වෙනස් වන සුළු,” “බිඳෙන සුළු” යන අර්ථය දෙයි. මෙයින් අදහස් කරන්නේ භෞතික ශරීරය සහ එය සෑදී ඇති මූලද්‍රව්‍යයි. සරලවම, “කය” හෝ “භෞතික ස්වභාවය” යි.
එකට ගත් විට, “නාමරූප” යනු “සිත සහ කය” හෙවත් සත්ත්වයෙකුගේ පැවැත්ම සකස් කරන සම්පූර්ණ මනෝ-භෞතික සංකීර්ණයයි (psycho-physical organism).
පටිච්චසමුප්පාදයේ සන්දර්භය
“විඤ්ඤාණ පච්චයා නාමරූපං” (විඤ්ඤාණය ප්‍රත්‍යයෙන් නාමරූප හටගනී) යනුවෙන් විස්තර කරනුයේ, පෙර භවයේ කර්ම ශක්තිය රැගත් ප්‍රතිසන්ධි විඤ්ඤාණය මව්කුසක පිහිටීමත් සමඟම, ඒ විඤ්ඤාණය පදනම් කරගෙන නව මනෝ-භෞතික ජීවියෙකුගේ (කලලයක) වර්ධනය ආරම්භ වන බවයි.
නාම (Nāma – මානසික සංඝටක)
පටිච්චසමුප්පාදයේදී “නාම” යන්නට විඤ්ඤාණය (consciousness) අයත් නොවේ (විභඞ‍්ග සූත්‍රය – සංයුත්ත නිකාය). මන්ද, විඤ්ඤාණය, නාමරූප හටගැනීමට හේතුව වන බැවිනි. මෙහිදී “නාම” යන්නට අයත් වන්නේ විඤ්ඤාණය හා බැඳී පවතින අනෙකුත් ප්‍රධාන චෛතසික ධර්මයන්ය එනම්:
- වේදනා (Vedanā): විඳීම (සැප, දුක්, උපේක්ෂා). (Feeling)
- සංඥා (Saññā): හඳුනාගැනීම. (Perception)
- චේතනා (Cetanā): යම් අරමුණක් සඳහා සිත මෙහෙයවන මානසික ක්‍රියාකාරීත්වය; කර්මය. (Volition)
- ඵස්ස (Phassa): ස්පර්ශය; හැපීම (ඉන්ද්‍රිය, අරමුණ සහ විඤ්ඤාණය එකට ගැටීම). (Contact)
- මනසිකාර (Manasikāra): අරමුණ වෙත සිත යොමු කිරීම; අවධානය. (Attention)
මෙම චෛතසික පහ, විඤ්ඤාණය සමඟ එක්වී සම්පූර්ණ මානසික ක්‍රියාවලියක් ගොඩනගයි.
රූප (Rūpa – භෞතික සංඝටක)
“රූප” යන්නෙන් අදහස් කරන්නේ භෞතික ශරීරයයි. මෙම ශරීරය මූලික කොටස් දෙකකින් සමන්විත වේ (විභඞ‍්ග සූත්‍රය – සංයුත්ත නිකාය):
- සතර මහා භූත (The Four Great Elements):
I. පඨවි ධාතුව: තද / ගොරෝසු ස්වභාවය (Earth element / Solidity).
II. ආපෝ ධාතුව: ඇලෙන / ද්‍රව ස්වභාවය (Water element / Cohesion).
III. තේජෝ ධාතුව: උණුසුම් / සිසිල් ස්වභාවය (Fire element / Temperature).
IV. වායෝ ධාතුව: සෙලවෙන / තල්ලු කරන ස්වභාවය (Wind element / Motion). - උපාදා රූප (Derived Matter):
ඉහත කී සතර මහා භූතයන් නිසා හටගත් අනෙකුත් සියලුම රූප. උදාහරණ ලෙස ඇස, කන, නාසය වැනි ප්‍රසාද රූප සහ රූප, ශබ්ද, ගන්ධ වැනි ගෝචර රූප මීට අයත් වේ.
සාරාංශය ලෙස ගත් විට, “නාමරූප” යනු සත්වයෙකු ලෙස අප හඳුන්වන “සිත සහ කය” යන මනෝ-භෞතික සංකීර්ණයයි. එය විඤ්ඤාණය මත යැපෙමින් හටගන්නා අතර, විඤ්ඤාණය ද නාමරූප මත යැපේ. “නාම” යනු වේදනා, සංඥා, චේතනා, ඵස්ස, මනසිකාර යන චෛතසික වන අතර, “රූප” යනු සතර මහා භූතයන්ගෙන් සැදුම්ලත් ශරීරයයි.
නාමරූප පච්චයා සළායතනං - සළායතන (Six Sense Bases)
“සළායතන” යනු “ආයතන හය” හෝ “ඉන්ද්‍රිය පදනම් හය” යන්නයි. මේවා සත්වයෙකුට බාහිර ලෝකය සමඟ සම්බන්ධ වීමට, අත්දැකීම් ලැබීමට සහ දැනුම උත්පාදනය කර ගැනීමට ඇති දොරටු හයයි. ලෝකය සහ “මම” අතර ඇතිවන සියලුම ගනුදෙනු මෙම ආයතන හය හරහා සිදුවේ.
සළායතන හය (The Six Sense Bases)
ත්‍රිපිටකයේ “සළායතන” ලෙස මූලිකවම හඳුන්වන්නේ අභ්‍යන්තර ඉන්ද්‍රිය පදනම් හයයි:
- චක්ඛායතනය (Cakkhāyatana): ඇස (දැකීමේ හැකියාව / faculty of sight).
- සෝතායතනය (Sotāyatana): කන (ඇසීමේ හැකියාව / faculty of hearing).
- ඝාණායතනය (Ghāṇāyatana): නාසය (ගඳ සුවඳ දැනීමේ හැකියාව / faculty of smell).
- ජිව්හායතනය (Jivhāyatana): දිව (රස විඳීමේ හැකියාව / faculty of taste).
- කායායතනය (Kāyāyatana): ශරීරය (ස්පර්ශය දැනීමේ හැකියාව / faculty of touch).
- මනායතනය (Manāyatana): මනස (සිතුවිලි, සංකල්ප, මතකයන් වැනි ධර්මාරම්මණ දැනගැනීමේ හැකියාව / faculty of cognition).
මෙහිදී “ආයතන” යනු හුදෙක් භෞතික ඉන්ද්‍රියම (උදා: අක්ෂි ගෝලය) නොව, එම ඉන්ද්‍රිය හා බැඳුණු සංවේදී හැකියාවයි.
පටිච්චසමුප්පාදයේ සන්දර්භය
“නාමරූප පච්චයා සළායතනං” (නාමරූප ප්‍රත්‍යයෙන් සළායතන හටගනී), යනුවෙන් අදහස් කරන්නේ, මව්කුස තුළ විඤ්ඤාණය නිසා නාම-රූප (සිත සහ කය) වර්ධනය වී, එම ජීවියාට බාහිර ලෝකය සමඟ සම්බන්ධ වීමට හැකිවන පරිදි ඇස, කන, නාසය ආදී ඉන්ද්‍රියයන් සහ මනස හෙවත් සළායතන සකස් වන බවයි. සළායතන සකස් වීම යනු, සත්වයෙකු ලෝකය සමඟ ගනුදෙනු කිරීමට සූදානම් වීමයි.
ආයතන දොළහ (The Twelve Āyatanas)
සළායතන සංකල්පය තවදුරටත් පුළුල් කරමින් ත්‍රිපිටකයේ ආයතන දොළහක් පිළිබඳව දේශනා කෙරේ. එනම්, අත්දැකීමක් සම්පූර්ණ වීමට අභ්‍යන්තර ආයතන මෙන්ම ඒවාට අනුරූප බාහිර අරමුණු ද අවශ්‍ය බවයි. උදාහරණයක් ලෙස, ඵස්සය හටගන්නේ මෙම අභ්‍යන්තර සහ බාහිර ආයතන එකට ගැටීමෙනි. එනම්, ඇස (චක්ඛු) සහ රූපයක් (රූප) නිසා චක්ඛු විඤ්ඤාණය හටගනී. මේ තුනේ එකතුව චක්ඛු සම්ඵස්සයයි.
ආයතන දොළහ නම්:
අභ්‍යන්තර ආයතන (Internal Bases) බාහිර ආයතන (External Bases)
චක්ඛු (ඇස) රූප (දෘශ්‍ය වස්තූන්)
සෝත (කන) ශබ්ද
ඝාණ (නාසය) ගන්ධ (සුවඳ/දුගඳ)
ජිව්හා (දිව) රස
කාය (කය) ඵොට්ඨබ්බ (ස්පර්ශ කළ හැකි දේ)
මන (මනස) ධම්ම (සිතුවිලි/සංකල්ප)
“සබ්බ” (සියලු) යනු කුමක්ද?
සබ්බ සූත්‍රයේ දී සළායතනයන්ගේ වැදගත්කම අවධාරණය කරන විට, බුදුරජාණන් වහන්සේ “සියලු” (සබ්බ) යනු මෙම ආයතන දොළහම (අභ්‍යන්තර හය සහ බාහිර හය) බව දේශනා කළ සේක. යමෙකු මෙම ආයතන දොළහෙන් පරිබාහිරව වෙනත් දෙයක් ගැන කතා කරන්නේ නම්, එය හුදෙක් වචනවලට පමණක් සීමා වූ, ඔප්පු කළ නොහැකි දෙයක් බව උන්වහන්සේ පෙන්වා දුන්හ. මේ අනුව, අපගේ අත්දැකීම් ලෝකයේ සීමාව මෙම ආයතන දොළහයි.
සාරාංශය ලෙස ගත් විට, “සළායතන” යනු ලෝකය අත්විඳින ඉන්ද්‍රිය දොරටු හයයි. එය, නාමරූප නම් වූ මනෝ-භෞතික සංකීර්ණය නිසා හටගන්නා ධර්මතාවකි. මෙම ආයතන, ඵස්සය, වේදනාව, තණ්හාව ආදී සමස්ත දුක්ඛ දාමයම ආරම්භ වීමට පදනම සපයයි. මෙම අභ්‍යන්තර සහ බාහිර ආයතන දොළහ, අපට අත්විඳිය හැකි සම්පූර්ණ යථාර්ථයේ සීමාව නිර්ණය කරයි.
සළායතන පච්චයා ඵස්සෝ
- ඵස්සය (Contact)
“ඵස්ස” යන පාලි වචනයේ සරල සිංහල තේරුම “ස්පර්ශය” හෝ “ගැටීම” යන්නයි.
කෙසේ වෙතත්, ත්‍රිපිටකයේදී මෙය හුදු භෞතික ස්පර්ශයකට වඩා ගැඹුරු අර්ථයක් ඇති චෛතසිකයක් (mental factor) ලෙස විග්‍රහ කෙරේ. එය අත්දැකීමක් හටගැනීම සඳහා අවශ්‍ය වන මූලික සාධක තුනක එකතුවකි.
ඵස්සයක් ඇතිවීමට අවශ්‍ය සාධක:
ඵස්සයක් හෙවත් ස්පර්ශයක් ඇතිවීමට කරුණු තුනක් එකට සම්බන්ධ විය යුතුය. එනම්:
අභ්‍යන්තර ආයතනය + බාහිර අරමුණ + ඊට අදාළ විඤ්ඤාණය = ඵස්සය
මෙය පැහැදිලි කිරීමට උදාහරණයක් ගනිමු.
චක්ඛු සම්ඵස්සය (දැකීමේ ස්පර්ශය): යමෙකුට රූපයක් පෙනීමේ අත්දැකීම ලැබීමට පහත සාධක සම්පූර්ණ විය යුතුය:
- ඇස (චක්ඛු ආයතනය): නිරෝගී ඇසක් තිබිය යුතුය.
- රූපය (බාහිර අරමුණ): පෙනීමට ලක්වන රූපයක් තිබිය යුතුය.
- චක්ඛු විඤ්ඤාණය: ඒ කෙරෙහි යොමු වූ දැකීමේ දැනීමක් (consciousness) තිබිය යුතුය.
මෙම කරුණු තුනේ එකතුව “චක්ඛු සම්ඵස්සය” නම් වේ. මේ තුනෙන් එකක් හෝ අඩු වුවහොත් (උදා: ඇස් තිබුණත්, අරමුණක් නැතිනම් හෝ අරමුණ තිබුණත්, සිත වෙනතක නම්) දැකීමේ ස්පර්ශයක් හට නොගනී.
ඵස්ස වර්ග හය (The Six Types of Phassa)
අපට ඇති අභ්‍යන්තර ආයතන හය පදනම් කරගෙන, ත්‍රිපිටකයේ ඵස්ස වර්ග හයක් දක්වා ඇත. (මහානිදාන සූත්‍රය – දීඝනිකාය): - චක්ඛු සම්ඵස්සය: ඇස, රූපය සහ චක්ඛු විඤ්ඤාණයේ එකතුව.
- සෝත සම්ඵස්සය: කන, ශබ්දය සහ සෝත විඤ්ඤාණයේ එකතුව.
- ඝාණ සම්ඵස්සය: නාසය, ගන්ධය සහ ඝාණ විඤ්ඤාණයේ එකතුව.
- ජිව්හා සම්ඵස්සය: දිව, රසය සහ ජිව්හා විඤ්ඤාණයේ එකතුව.
- කාය සම්ඵස්සය: ශරීරය, ස්පර්ශය සහ කාය විඤ්ඤාණයේ එකතුව.
- මනෝ සම්ඵස්සය: මනස, ධර්මාරම්මණ (සිතුවිලි/සංකල්ප) සහ මනෝ විඤ්ඤාණයේ එකතුව.
අප ලබන සියලුම අත්දැකීම් මෙම ස්පර්ශ හයෙන් එකක් හරහා සිදුවේ.
පටිච්චසමුප්පාදයේ සන්දර්භය
“සළායතන පච්චයා ඵස්සෝ” (සළායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය හටගනී), යනුවෙන් අදහස් කරන්නේ, ඇස, කන ආදී ඉන්ද්‍රිය පදනම් හය (සළායතන) ඇති නිසා, බාහිර ලෝකය සමඟ ගැටීමට (ස්පර්ශ වීමට) අවස්ථාව උදාවන බවයි. සළායතන යනු අක්‍රිය දොරටු වැනිය; ඵස්සය යනු එම දොරටු හරහා ලෝකය සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ වන මොහොතයි.
වේදනාවට හේතුව ලෙස ඵස්සයේ වැදගත්කම
පටිච්චසමුප්පාදයේ මීළඟ පුරුක වන්නේ, “ඵස්ස පච්චයා වේදනා” (ඵස්සය ප්‍රත්‍යයෙන් වේදනාව හටගනී) යන්නය. මෙය ඉතාම තීරණාත්මක සම්බන්ධයකි. අප ලබන සෑම ඵස්සයක්ම (ස්පර්ශයක්ම) අනිවාර්යයෙන්ම වේදනාවක් ඇති කරයි. එම වේදනාව:
- සුඛ වේදනා (සැප)
- දුක්ඛ වේදනා (දුක්)
- අදුක්ඛමසුඛ වේදනා (උපේක්ෂා)
යන තුනෙන් එකක් විය හැකිය.
තණ්හාව හටගන්නේ මෙම වේදනාව මුල් කරගෙනය. එබැවින්, ඵස්සය යනු දුක්ඛ චක්‍රය ගොඩනැගෙන ක්‍රියාවලියේ ඉතා වැදගත් සන්ධිස්ථානයකි. යෝගාවචරයෙකු සිහිය පිහිටුවා ගත යුතු ප්‍රධාන ස්ථානයක් ලෙස ඵස්සය හඳුන්වන්නේ, ඵස්සයත් සමඟම ඇතිවන වේදනාවට තණ්හාවෙන් ප්‍රතිචාර දැක්වීම වැළැක්වීමටයි.
එසේම, ‘ගැටීම’, ‘ස්පර්ශය’ හෙවත් ඵස්සය ඇතිවීමට නම් ‘සිත හා කය’ (නාමරූප) පැවතිය යුතුය. කෙනෙකුට ‘සිතක්’ නැත්නම්, ඔහුට සිතුවිලි, හැඟීම් වැනි මානසික අත්දැකීමක් (මනෝ ඵස්සයක්) ඇතිවිය නොහැක. එසේම, කෙනෙකුට ඇස්, කන්, නාසය වැනි ‘කයක්’ නැත්නම්, ඔහුට පෙනීමක්, ඇසීමක් වැනි ශාරීරික ගැටීමක් (ඵස්සයක්) ඇතිවිය නොහැක. ‘සිතත්’ ‘කයත්’ දෙකම නැති තැනක, කිසිම ආකාරයක ගැටීමක්, එනම් ඵස්සයක්, ස්පර්ශයක් ඇතිවිය නොහැක. මෙම කරුණ මජ්‌ඣිම නිකායේ සතිපට්ඨාන සූත්‍රය සහ මහානිදාන සූත්‍රය ඇසුරෙන් තහවුරු කළ හැකිය.
සාරාංශය ලෙස ගත් විට, “ඵස්සය” යනු හුදු භෞතික ගැටීමක් නොව, ඉන්ද්‍රිය, අරමුණ සහ විඤ්ඤාණය යන තුනේ එකතුවෙන් හටගන්නා චෛතසිකයකි. එය සළායතන නිසා හටගන්නා අතර, වේදනාව හටගැනීමට එකම හේතුවයි. මෙය අපගේ සියලු අත්දැකීම්වල ආරම්භක මොහොත වන අතර, දුක්ඛ චක්‍රය බිඳ දැමීම සඳහා සිහිය පිහිටුවා ගත යුතු තීරණාත්මක සන්ධිස්ථානයකි.
ඵස්ස පච්චයා වේදනා
- වේදනාව (Feeling)
ත්‍රිපිටක ධර්මයට අනුව, වේදනා චෛතසිකය යනු. ‘දැනීම’ හෝ ‘විඳීම’ යන අරුත දෙන අතරම, පංචස්කන්ධයෙහි දෙවැන්න වන ‘වේදනාස්කන්ධය’ ලෙසද හැඳින්වේ. පටිච්චසමුප්පාද ධර්මය සහ චතුරාර්ය සත්‍යයෙහි, පළමු සත්‍යය වන දුක්ඛ ආර්ය සත්‍යය අවබෝධ කරගැනීම සඳහා වේදනාවේ යථා ස්වභාවය අවබෝධ කරගැනීම අනිවාර්ය වේ.
වේදනාව හටගැනීම
වේදනාව ඉබේ හටගන්නා දෙයක් නොව, හේතු-ඵල දාමයක ප්‍රතිඵලයකි. පටිච්චසමුප්පාදයෙහි, ‘ඵස්ස පච්චයා වේදනා’ යන්නෙන් දැක්වෙන්නේ ඵස්සය නිසා වේදනාව හටගන්නා බවයි. එනම්, ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස යන ආයතන හය බාහිර අරමුණු සමඟ ගැටීම (ඵස්සය) නිසා වේදනාව හටගනී.
උදාහරණ:
• චක්ඛු සම්ඵස්සජා වේදනා: ඇස රූපයක් සමඟ ගැටීමෙන් ඇතිවන විඳීම.
• සෝත සම්ඵස්සජා වේදනා: කන ශබ්දයක් සමඟ ගැටීමෙන් ඇතිවන විඳීම.
මෙලෙස සෙසු ඉන්ද්‍රියයන්ට සහ මනසට අරමුණු ගැටීම නිසා වේදනා හටගනී.
වේදනා වර්ගීකරණය
ත්‍රිපිටකයේ වේදනාව ප්‍රධාන වශයෙන් ආකාර කිහිපයකට වර්ග කර ඇත. එයින් වඩාත් ප්‍රචලිත සහ මූලික වර්ගීකරණය වන්නේ වේදනාවේ ස්වභාවය අනුව එය කොටස් තුනකට බෙදීමයි:
- සුඛ වේදනා: සැප සහගත, ප්‍රියමනාප, කායික හෝ මානසික වශයෙන් සුවයක් ගෙන දෙන විඳීම්.
- දුක්ඛ වේදනා: දුක් සහගත, අප්‍රිය, වේදනාකාරී, කායික හෝ මානසික වශයෙන් පීඩාවක් ගෙන දෙන විඳීම්.
- අදුක්ඛමසුඛ වේදනා: දුකක් හෝ සැපක් නොවන, මධ්‍යස්ථ හෙවත් උපේක්ෂා සහගත විඳීම්.
මීට අමතරව, වේදනාව කායික හා මානසික වශයෙන් ද, සාමිස (කෙලෙස් සහිත) හා නිරාමිස (කාමාශාවන් පිළිබඳ නොවූ) වශයෙන් ද වර්ග කර ඇත.
• කායික වේදනා: ශරීරය හා සම්බන්ධ සැප දුක්.
• මානසික වේදනා (චෛතසික): සිත හා සම්බන්ධ සතුට (සෝමනස්ස) දුක (දොම්නස) සහ දුකක් හෝ සැපක් නොවන, මධ්‍යස්ථ (උපෙක්ඛා).
සාමිස වේදනා: පංච කාම ගුණයන් (රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ) ඇසුරු කිරීමෙන් ලබන විඳීම්.
නිරාමිස වේදනා: කාමයන්ගෙන් වෙන්ව, නෙක්ඛම්මය පදනම් කරගෙන ඇතිවන විඳීම් (උදා: ධ්‍යාන සුවය).
සාරාංශය ලෙස ගත් විට, වේදනාව යනු, ඉන්ද්‍රියක් බාහිර අරමුණක් සමඟ ගැටීම (ඵස්සය) නිසා හටගන්නා ‘විඳීම’ වේ. පටිච්චසමුප්පාද දාමයේ ප්‍රධාන පුරුකක් වන වේදනාවේ යථා ස්වභාවය (එනම්, එයද හේතුන් නිසා හටගෙන නැතිවී යන අනිත්‍ය දෙයක් බව) අවබෝධ කරගැනීම, දුකින් මිදීම සඳහා අත්‍යවශ්‍ය වේ.
වේදනා පච්චයා තණ්හා
- තණ්හාව (Craving)
ත්‍රිපිටක ධර්මයට අනුව, තණ්හා (පාලි: තණ්හා; සංස්කෘත: තෘෂ්ණා) යනු “ඇලීම”, “ගිජුකම” හෝ “නිවාලිය නොහැකි පිපාසය” යන අරුත් දෙන, සංසාර පැවැත්මේ සහ දුකෙහි මූලිකම හේතුවයි. චතුරාර්ය සත්‍යයෙහි, දෙවන සත්‍යය වන දුක්ඛ සමුදය ආර්ය සත්‍යය ලෙස පෙන්වා දී ඇත්තේ මෙම තණ්හාවයි.
තණ්හාව හටගැනීම
තණ්හාව ස්වයංව හටගන්නා දෙයක් නොව, හේතු-ඵල දාමයක ප්‍රතිඵලයකි. පටිච්චසමුප්පාද ධර්මයට අනුව, ‘වේදනා පච්චයා තණ්හා’ යන්නෙන් පැහැදිලි වන්නේ විඳීම (වේදනාව) නිසා තණ්හාව හටගන්නා බවයි.
• සුඛ වේදනාවක් (සැප විඳීමක්) ඇති වූ විට, එම සැපයෙහි නැවත නැවත රැඳී සිටීමට, එය නැති වී නොයවා ගැනීමට, එය තව තවත් ලබා ගැනීමට ඇති වන ආශාව තණ්හාවයි.
• දුක්ඛ වේදනාවක් (දුක් විඳීමක්) ඇති වූ විට, එම දුකෙන් මිදීමට, එයින් පලා යාමට සහ සැපයක් ලැබීමට ඇති කරන ආශාවද තණ්හාවේම ස්වරූපයකි.
• අදුක්ඛමසුඛ වේදනාවක් (උපේක්ෂා සහගත විඳීමක්) ඇති විට, එහි යථා ස්වභාවය නොදැනීම (අවිද්‍යාව) නිසා එම තත්ත්වයේම රැඳී සිටීමට හෝ වෙනත් සැපයක් සෙවීමට ඇති වන සියුම් ආශාවද තණ්හාවටම අයත් වේ.
අපගේ ඉන්ද්‍රිය දොරටු හය පදනම් කරගෙන රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ තණ්හා සහ ධර්ම තණ්හා යනුවෙන් තණ්හා වර්ග හයක් ද පවතී.
තණ්හාවේ ප්‍රධාන වර්ග තුන
ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ තණ්හාව ප්‍රධාන කොටස් තුනකට බෙදා දක්වති:
“කතමඤ්ච භික්ඛවේ දුක්ඛසමුදයං අරියසච්චං? යායං තණ්හා පෝනොභවිකා නන්දිරාගසහගතා තත්‍ර තත්‍රාභිනන්දිනී, සෙය්‍යථිදං? කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හා”. (“මහණෙනි, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය කවරේද? යම් මේ තෘෂ්ණාවක් නැවත නැවත අලුත් භවයක් උපදවයි ද, නන්දිරාගය (කාමයෙහි ඇලීම) හා එක්ව පවතී ද, හමුවන ඒ ඒ භවයන්හි ද, ඒ ඒ අරමුණු කෙරෙහි ද තදින් ඇලෙයි ද, එනම්: කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව යන මේ තණ්හා තුන යි.”)
- කාම තණ්හා (Kāma-taṇhā): ඉන්ද්‍රිය පිනවීමට ඇති ආශාව. ඇසට ප්‍රිය රූප, කනට ප්‍රිය ශබ්ද, නාසයට ප්‍රිය ගන්ධ, දිවට ප්‍රිය රස, ශරීරයට ප්‍රිය ස්පර්ශ සහ මනසට ප්‍රිය සිතුවිලි යන පංචකාම වස්තූන් කෙරෙහි ඇතිවන ගිජුකම සහ ඇලීමයි.
- භව තණ්හා (Bhava-taṇhā): භවයේ පැවැත්මට, “වීමට” හෝ “වී සිටීමට” ඇති ආශාව. ‘මම’ යන හැඟීම (සක්කාය දිට්ඨිය) සමඟ බැඳුණු, සදාකාලිකව ජීවත් වීමට, කිසියම් තත්ත්වයක් හෝ අනන්‍යතාවක් පවත්වාගෙන යාමට ඇති කැමැත්තයි. උදාහරණයක් ලෙස, මරණින් මතු සුගතියක ඉපදීමට ඇති ආශාව, ශාශ්වත ආත්මයක් (ශාශ්වත ආත්ම සංකල්පය – පුද්ගලයා තුළ, ස්ථිර, නොවෙනස්, සදාකාලික හරයක් පවතින බව පිළිගැනීමයි) ඇතැයි සිතා එහි පැවැත්මට ඇති කැමැත්ත භව තණ්හාවයි.
- විභව තණ්හා (Vibhava-taṇhā): භවය නැති වීමට, විනාශ වීමට ඇති ආශාව. මෙයින් අදහස් කරන්නේ දුක්ඛිත තත්ත්වයන්ගෙන් මිදීමට ඇති ආශාව, තමා හෝ තමා අකමැති දෙයක් විනාශ වේවායි පැතීම සහ මරණින් මතු සියල්ල අවසන් වේය යන උච්ඡේද දිට්ඨිය (උච්ඡේද දිට්ඨිය යනු, මරණයෙන් සියල්ල අවසන්, නැතහොත් නැවත ඉපදීමක් නැත, හෝ ආත්මය විනාශ වේ, යන දෘෂ්ටිය) නමැති මිත්‍යා විශ්වාසය සමඟ බැඳුණු ආශාවයි. තමාගේ පැවැත්ම එපා වීම නිසා සියදිවි නසා ගැනීමට සිතීම වැනි දේ ද මෙයට උදාහරණ වේ.
තණ්හාවේ ක්‍රියාකාරීත්වය සහ විපාක
තණ්හාව හුදෙක් ආශාවක් පමණක් නොවේ. එය ක්‍රියාකාරී, ග්‍රහණය කරගන්නා ස්වභාවයෙන් යුක්තය. එසේම, තණ්හාවේ ක්‍රියාකාරීත්වය අඛණ්ඩ හේතුඵල දාමයක් ලෙස දිග හැරේ. ‘තණ්හා පච්චයා උපාදානං’ යන්නට අනුව, තණ්හාව ප්‍රබල වූ විට එය උපාදාන හෙවත් දැඩිව අල්ලාගැනීමට හා බැඳීමට හේතු වේ. මෙලෙස, තණ්හාව සංසාර චක්‍රය නොකඩවා ඉදිරියට ගෙන යන ප්‍රධාන ගාමක බලවේගය බවට පත් වේ.
තණ්හා නිරෝධය
චතුරාර්ය සත්‍යයෙහි, තෙවන සත්‍යය වන දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය නම් තණ්හාව මුළුමනින්ම නැති කිරීමයි. එයට ඇති එකම මාර්ගය චතුරාර්ය සත්‍යයෙහි, සිව්වන සත්‍යය වන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය එනම්, ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීමයි. සම්මා දිට්ඨියෙන් යුතුව ලෝකයේ යථා ස්වභාවය (අනිත්‍ය, දුක්ඛ, අනාත්ම) අවබෝධ කරගැනීමෙන් සහ ප්‍රඥාව, ශීලය, සමාධිය වැඩීමෙන් වේදනාව නිසා තණ්හාව හටගැනීමේ ක්‍රියාවලිය බිඳ දැමිය හැකි අතර, එමඟින් සියලු දුකින් නිදහස් විය හැකිය.
තණ්හාවේ සමාජයීය ප්‍රතිඵල
තණ්හාව මුල් කරගෙන පුද්ගලයාගේ සිට සමාජය දක්වා ගැටුම් හටගන්නා ආකාරය මහානිදාන සූත්‍රයෙහි පියවරෙන් පියවර මෙසේ විස්තර කෙරේ:
- තණ්හාව නිසා → දේවල් සෙවීමට (පරියේසනා) පටන් ගනී.
- සෙවීම නිසා → දේවල් ලැබීම (ලාභ) සිදු වේ.
- ලැබීම නිසා → ඒ දේවල් හොඳ-නරක ලෙස විනිශ්චය කරයි (විනිච්ඡය).
- විනිශ්චය නිසා → දැඩි කැමැත්ත සහ ආශාව (ඡන්දරාග) ඇතිවේ.
- ආශාව නිසා → ‘මේවා මගේ’ යන දැඩි හැඟීම (අජ්ඣොසාන) ඇතිවේ.
- ‘මගේ’ යන හැඟීම නිසා → දේවල් බලෙන් අයිති කරගැනීම (පරිග්ගහ) සිදු වේ.
- අයිති කරගැනීම නිසා → මසුරුකම හෙවත් ලෝභකම (මච්ඡරිය) හටගනී.
- මසුරුකම නිසා → ඒ දේවල් රැකගැනීමට (ආරක්ඛ) සිතයි.
- ඒ දේවල් රැකගැනීමට යාම නිසා → දඬු මුගුරු ගැනීම, ආයුධ ගැනීම, රණ්ඩු සරුවල්, වාද විවාද, අනුන්ට බැනීම, බොරු කීම වැනි සියලු අකුසල ධර්මයන් සමාජය තුළ හටගනී.
මේ අනුව, පුද්ගල මට්ටමින් පවතින තණ්හාව, අවසානයේදී බරපතල සමාජ ගැටුම් දක්වා වර්ධනය වන ආකාරය පැහැදිලි වේ.
සාරාංශය ලෙස ගත් විට, දුකෙහි සහ සංසාරයෙහි පැවැත්මේ මූලිකම හේතුව වන තණ්හාව, විඳීම (වේදනාව) නිසා හටගනී. එය නිරෝධය කල හැක්කේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීමෙන් හා සම්මා දිට්ඨියෙන් යුතුව ලෝකයේ යථා ස්වභාවය (අනිත්‍ය, දුක්ඛ, අනාත්ම) අවබෝධ කරගැනීමෙන් සහ ප්‍රඥාව, ශීලය, සමාධිය වැඩීමෙන් පමණි.
තණ්හා පච්චයා උපාදානං
- උපාදානය (Grasping)
ත්‍රිපිටක ධර්මයට අනුව, උපාදාන යනු “දැඩිව අල්ලා ගැනීම”, “ඇලී සිටීම” හෝ “ග්‍රහණය කර ගැනීම” යන අර්ථය දෙන ගැඹුරු මානසික තත්ත්වයකි. (උප + ආදාන = වෙතට ගෙන අල්ලා ගැනීම) එය, පෙර විස්තර කළ තණ්හාවේ (craving) වඩාත් තීව්‍ර, ස්ථාවර සහ මුල් බැසගත් අවස්ථාවයි. පටිච්චසමුප්පාද දාමයේ තීරණාත්මක පුරුකක් වන උපාදානය, දුක්ඛිත සංසාර චක්‍රය පවත්වාගෙන යන ප්‍රධාන ඉන්ධනය (උපාදාන යන්නෙහි එක් වචනාර්ථයක් ‘ඉන්ධන’ යන්නයි) ලෙස ක්‍රියා කරයි.
උපාදානය හටගැනීම
උපාදානයේ ආසන්නම හේතුව තණ්හාවයි. ‘තණ්හා පච්චයා උපාදානං’ යන්නෙන් අර්ථ දැක්වෙන්නේ, “තණ්හාව ප්‍රත්‍ය වීමෙන් උපාදානය හටගනී” යන්නයි.
සරල ආශාවක් ලෙස හටගන්නා තණ්හාව ක්‍රමයෙන් වර්ධනය වී, යම් අරමුණක් (රූපයක්, අදහසක්, මතයක්) කෙරෙහි මානසිකව දැඩිව බැඳී, එය ‘මගේ’ ය, ‘මම වෙමි’ ය, ‘මගේ ආත්මය’ යි යනුවෙන් ග්‍රහණය කරගත් විට එය උපාදානය බවට පත්වේ. තණ්හාව යනු යමක් කරා අත දිගු කිරීම වැනිය; උපාදානය යනු එය තදින් අල්ලාගෙන අතහැරීමට නොහැකි වීම වැනිය.
උපාදානයෙහි ප්‍රධාන වර්ග හතර (චතුර්විධ උපාදාන)
ත්‍රිපිටකයේ උපාදානය ප්‍රධාන වර්ග හතරකට බෙදා දක්වයි. සත්ත්වයා සංසාරයේ බඳිනු ලබන ප්‍රධාන බැමි හතර මේවාය.
- කාමුපාදානය (Kāmupādāna): කාම වස්තූන් දැඩිව අල්ලා ගැනීම.
පංච ඉන්ද්‍රියන්ට ගෝචර වන ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන කාම වස්තූන් සහ ඒ හා බැඳුණු සැප වේදනාවන් ‘මගේ සතුට රඳා පවතින්නේ මේවා මත’ යැයි සිතා ඒවාට දැඩිව ඇලී ගැලී සිටීමයි. එය හුදු කාම ආශාව (කාම තණ්හා) ඉක්මවා ගිය, ජීවිතයේ එකම අරුත හා සතුට ලෙස කාමයම දැඩිව ග්‍රහණය කර ගැනීමකි. - දිට්ඨුපාදානය (Diṭṭhupādāna): දෘෂ්ටි (වැරදි දැක්ම) දැඩිව අල්ලා ගැනීම.
ලෝකය, ජීවිතය, ආත්මය වැනි දේ පිළිබඳව තමා විසින් ගොඩනගාගත් හෝ අනුන්ගෙන් උගත් වැරදි මත, දර්ශන සහ අදහස් ‘මෙයමයි සත්‍යය, අනෙක බොරු’ යැයි සිතා ඒවායේ දැඩිව එල්බී සිටීමයි. උදාහරණ ලෙස:
• ශාශ්වත දෘෂ්ටිය: ආත්මය සදාකාලිකයි, මරණින් මතු නොවෙනස්ව පවතිනවා යන මතය.
• උච්ඡේද දෘෂ්ටිය: මරණින් මතු සියල්ල අවසන් වෙනවා, නැවත ඉපදීමක් නැහැ යන මතය.
මෙවැනි දෘෂ්ටිවලට බැඳී සිටීම නිවන් මග අවුරන ප්‍රධාන බාධාවකි. - සීලබ්බතුපාදානය (Sīlabbatupādāna): ශීල ව්‍රත මාත්‍රයෙන් පිරිසිදුකමක් වේ යැයි දැඩිව අල්ලා ගැනීම.
සැබෑ මානසික පාරිශුද්ධියක් හෝ ප්‍රඥාවේ අවබෝධයක් නොමැතිව, හුදෙක් බාහිර චාරිත්‍ර වාරිත්‍ර, වත් පිළිවෙත් සහ ශික්ෂාපද රැකීමෙන් පමණක් තමන් පිරිසිදු වන බවට හෝ විමුක්තිය ලැබිය හැකි බවට ඇති දැඩි විශ්වාසයයි. නිවැරදි අරමුණකින් තොරව කරන ගව ව්‍රත, අජ ව්‍රත වැනි නිෂ්ඵල තපස් ක්‍රියා සහ යාග හෝම ආදිය මෙයට උදාහරණ වේ. ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් බැහැරව, හුදු බාහිර පිළිවෙත්වල එල්බී සිටීම මින් අදහස් වේ. - අත්තවාදුපාදානය (Attavādupādāna): ආත්ම දෘෂ්ටිය දැඩිව අල්ලා ගැනීම.
මෙය සියලු උපාදානයන්ගේ මූලය ලෙස සැලකේ. පංචස්කන්ධය (රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ) තුළ ‘මම’, ‘මගේ’ හෝ ‘මගේ ආත්මය’ යනුවෙන් හැඳින්විය හැකි ස්ථිර, නොවෙනස් හරයක් ඇතැයි යන දෘෂ්ටිය දැඩිව අල්ලා ගැනීමයි. “මම සිටිමි”, “මම කරමි”, “මේ ශරීරය මගේය”, “මේ සිත මගේය” යන ගැඹුරින් මුල් බැසගත් සංකල්පය මෙයට අයත් වේ. මෙම දෘෂ්ටිය නිසාම සෙසු සියලු ඇලීම් සහ ගැටීම් හටගනී.
උපාදානයේ විපාකය
උපාදානය සංසාර චක්‍රය ඉදිරියට ගෙනයාමට සෘජුවම දායක වේ. ‘උපාදාන පච්චයා භවෝ’ යන්නෙන් දැක්වෙන්නේ, “උපාදානය ප්‍රත්‍යයෙන් භවය (නැවත ඉපදීම) සකස් වේ” යන්නයි. මෙම දැඩි ඇලීම් නිසා සත්ත්වයා කුසල සහ අකුසල කර්ම රැස් කරන අතර, එම කර්ම ශක්තිය නැවත නැවතත් භවයන් නිර්මාණය කරයි.
බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දී දුක අර්ථ දක්වා ඇත්තේ “සඞ‍්ඛිත‍්තෙන පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා දුක‍්ඛා” (“සැකෙවින් පඤ්ච උපාදානස්කන්‍ධයෝ දුක්හ.”) යනුවෙනි. එනම්, අප දුක ලෙස අත්විඳින්නේ අප විසින්ම දැඩිව අල්ලාගෙන සිටින මේ පංචස්කන්ධයයි.
උපාදානයෙන් මිදීම, තණ්හාව නිරෝධ කිරීම තුළින්ම සිදුවේ. ආර්ය අෂ්ඨාංගික මාර්ගය, විශේෂයෙන්ම සම්මා දිට්ඨිය (නිවැරදි දැක්ම) ප්‍රගුණ කිරීම තුළින් සියලු දේවල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය අවබෝධ කරගත් විට, මෙම දැඩි අල්ලා ගැනීම් නිරායාසයෙන්ම ගිලිහී ගොස් විමුක්තිය සාක්ෂාත් වේ.
සාරාංශය ලෙස ගත් විට, උපාදානය යනු තණ්හාව (craving) තීව්‍ර වීමෙන් ඇතිවන “දැඩිව අල්ලා ගැනීම” වන අතර, මෙම ඇලී සිටීමම කර්ම රැස් කරමින් නැවත නැවත ඉපදීමටත්, එමගින් දුක ලෙස අර්ථ දක්වා ඇති පංච උපාදානස්කන්ධයම නිර්මාණය වීමටත් හේතු වේ. මෙම ග්‍රහණයෙන් මිදීම, ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඔස්සේ ලෝකයේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය අවබෝධ කරගැනීමෙන් සිදුවේ.
උපාදාන පච්චයා භවෝ
- භවය (Becoming)
ත්‍රිපිටක ධර්මයට අනුව, භවය (පාලි: භවෝ) යනු “වීම” හෙවත් “පැවැත්මේ ක්‍රියාවලිය” යන්නයි. එය හුදෙක් ‘පැවැත්ම’ නමැති නිශ්චල තත්ත්වයක් නොව, හේතුඵල දහම අනුව නිරන්තරයෙන් ගොඩනැගෙන, ගතික හෙවත් වෙනස් වන සහ අඛණ්ඩ ක්‍රියාවලියකි. පටිච්චසමුප්පාද දේශනාවේදී, සංසාර චක්‍රය පවත්වාගෙන යන කේන්ද්‍රීය සාධකයක් ලෙස භවය හඳුන්වා දී ඇත. එය උපාදානයේ (දැඩිව අල්ලා ගැනීමේ) ප්‍රතිඵලය වන අතර ජාතියේ (ඉපදීමේ) හේතුව වේ.
භවය හටගැනීම
භවය හටගැනීමේ ආසන්නම හේතුව උපාදානයයි. ‘උපාදාන පච්චයා භවෝ’ යනු “උපාදානය ප්‍රත්‍යයෙන් භවය හටගනී” යන්නයි. කාම, දිට්ඨි, සීලබ්බත, අත්තවාද යන සතර ආකාර උපාදානයන් නිසා සත්ත්වයා විසින් ශරීරයෙන්, වචනයෙන් හා මනසින් කුසල් සහ අකුසල් කර්ම රැස් කරයි. මෙසේ රැස්කරන කර්ම ශක්තිය, මරණින් මතු නව පැවැත්මක්, එනම් නව භවයක් නිර්මාණය කිරීමේ ශක්තිය බවට පත්වේ. උපාදානය නමැති ඉන්ධනයෙන් දැල්වෙන කර්ම ගින්න, භවය නමැති පැවැත්මේ ක්‍රියාවලිය නොනවත්වා ඉදිරියට ගෙන යයි.
භවයේ ද්විත්ව ස්වභාවය
ත්‍රිපිටක විග්‍රහයන්ට අනුව, භවය ප්‍රධාන අංශ දෙකකින් සමන්විත වේ:
- කම්ම භව (Kamma-bhava): කර්මය මුල් වූ භවය.
මෙය භවයේ ක්‍රියාකාරී සහ හේතුකාරක පැතිකඩයි. එනම්, නැවත ඉපදීමක් ඇති කිරීමට ශක්තිය ඇති කුසල් සහ අකුසල් චේතනාන්විත ක්‍රියා (කර්ම) වේ. අප සිතන, කියන සහ කරන දේ තුළින් අනාගත පැවැත්මක් සඳහා වන භවය නිර්මාණය වන්නේ මෙම කම්ම භවය තුළිනි. සරලවම, මෙය භවය සකස් කරන හේතුවයි. - උපත්ති භව (Upapatti-bhava): ඉපදීම මුල් වූ භවය.
මෙය කම්ම භවයේ ප්‍රතිඵලයයි. පෙර රැස් කළ කර්මයන්ට අනුරූපව යම්කිසි භවයක, එනම් පැවැත්මේ තලයක, ප්‍රතිසන්ධිය ලැබීමයි. කාම, රූප, අරූප යන භව තුනෙහි යම් තැනක පංචස්කන්ධය පහළ වීම උපත්ති භවය නම් වේ. සරලවම, මෙය කරන ලද කර්මයන්හි ප්‍රතිඵලයක් ලෙස ලැබෙන භවයයි.
භවයේ පැවැත්මේ තල තුන (භව තුන):
කර්මානුරූපව සත්වයන් උපදින භවයන් ප්‍රධාන වශයෙන් තල තුනකට බෙදා දක්වයි:
- කාම භව: කාම ලෝකයේ පැවැත්ම.
පංච කාම ආශාවන් ප්‍රබලව පවතින ලෝක, කාම ලෝකයේට අයත් වේ. නිරය , තිරිසන් ලෝකය , ප්‍රේත ලෝකය , අසුර ලෝකය , මනුෂ්‍ය ලෝකය සහ දිව්‍ය ලෝක හය යන එකොළොස් භූමියම කාම භවයට අයත් වේ. - රූප භව: රූපාවචර බ්‍රහ්ම ලෝකවල පැවැත්ම.
රූප ධ්‍යාන (රූප ධ්‍යාන යනු, සිතේ විසිරුණු ස්වභාවය නැති කර, එය පිරිසිදු කර, එකම අරමුණක ගැඹුරින් පිහිටුවීමේ ක්‍රියාවලියයි) වැඩීමෙන් උපදින, කාමයන්ගෙන් මිදුණු නමුත් සියුම් භෞතික ශරීරයක් (රූපයක්) සහිත බ්‍රහ්මයන්ගේ ලෝකයි. ප්‍රථම ධ්‍යාන භූමි තුනේ සිට චතුර්ථ ධ්‍යාන භූමි දක්වා වූ බ්‍රහ්ම ලෝක දහසයම මීට අයත් වේ. - අරූප භව: අරූපාවචර බ්‍රහ්ම ලෝකවල පැවැත්ම.
අරූප ධ්‍යාන (අරූප ධ්‍යාන යනු, භෞතික රූපයක් පදනම් කරගත් සියලු අරමුණු සම්පූර්ණයෙන්ම ඉක්මවා ගොස්, රූපයක් නොමැති, අභ්‍යන්තර, සංකල්පමය අරමුණු ඔස්සේ සිත පිහිටුවීමෙන් ලබන උසස්ම ලෞකික සමාධි හතරයි) වැඩීමෙන් උපදින, භෞතික ශරීරයක් සම්පූර්ණයෙන්ම නොමැති, නාම ධර්ම (සිත) පමණක් පවතින බ්‍රහ්ම ලෝකයි. ආකාසානඤ්චායතන, විඤ්ඤාණඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන, නේවසඤ්ඤානාසඤ්ඤායතන යන බ්‍රහ්ම ලෝක හතර මීට අයත් වේ.
භවයේ විපාකය සහ නිරෝධය
භවයේ ආසන්නම ප්‍රතිඵලය වන්නේ ඉපදීමයි. ‘භව පච්චයා ජාති’ යනු “භවය ප්‍රත්‍යයෙන් ජාතිය (ඉපදීම) හටගනී” යන්නයි. භවය නමැති ක්‍රියාවලිය පවතින තාක්, සත්ත්වයා නැවත නැවතත් ඉපදෙමින් ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දොම්නස ආදී සියලු දුකට මුහුණ දෙයි.
නිර්වාණය යනු මෙම භව ක්‍රියාවලිය මුළුමනින්ම නැවැත්වීමයි. එබැවින් නිර්වාණයට ‘භව නිරෝධෝ නිබ්බානං’ (භවය නිරුද්ධ වීම නිවනයි) යැයි ද කියනු ලැබේ. භවයට හේතුවන උපාදානය ප්‍රඥාවෙන් යුතුව අත්හැරීමෙන්, කර්ම රැස් කිරීම නතර වේ. එමඟින් කම්ම භවය ගොඩනැගීම නතර වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස උපත්ති භවය ද නිරුද්ධ වී සංසාර චක්‍රයෙන් සදහටම මිදී යා හැකිය.
මෙම ක්‍රියාවලිය තේරුම් ගැනීමේදී, පටිච්චසමුප්පාද චක්‍රය එක් ජීවිතයකට සීමා වූ රේඛීය ක්‍රියාවලියක් නොව, භව තුනක් පුරා දිවෙන පුනරාවර්තනීය චක්‍රයක් බව වටහා ගැනීම වැදගත් වේ. උදාහරණයක් ලෙස:
• අතීත හේතු: අතීත භවයක පැවති අවිද්‍යාව සහ සංස්කාර.
• වර්තමාන ඵල: එම හේතු නිසා වර්තමාන භවයේ විඤ්ඤාණයේ සිට වේදනාව දක්වා අංග පහ හටගනී.
• වර්තමාන හේතු: වර්තමාන භවයේදී හටගන්නා තණ්හාව, උපාදානය, සහ භවය සකස් වීම යන අංග තුන, අනාගත නැවත ඉපදීමක් හා ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දොමනස්ස, උපායාස සඳහා යළිත් හේතු බවට පත් වේ.
මෙම අඛණ්ඩ හේතුඵල රටාව, සංසාර චක්‍රය නොකඩවා ඉදිරියට පවත්වාගෙන යන ආකාරය මැනවින් පැහැදිලි කරයි.
සාරාංශය ලෙස ගත් විට, භවය යනු දැඩිව අල්ලා ගැනීම (උපාදානය) නිසා හටගන්නා “පැවැත්මේ ක්‍රියාවලිය” යි. මෙය, නැවත ඉපදීමක් ඇති කරන හේතුකාරක ක්‍රියාව (කම්ම භව) සහ එම කර්මයේ විපාකයක් ලෙස කාම, රූප, අරූප යන තල තුනෙන් එකක සිදුවන ප්‍රතිඵලය (උපත්ති භව) යන ද්විත්ව ස්වභාවයකින් යුක්ත වේ. මෙම පැවැත්මේ ක්‍රියාවලිය පවතින තාක් සත්ත්වයා ජරා, මරණ ආදී සියලු දුකට මුහුණ දෙන අතර, භවයට හේතුවන උපාදානය ප්‍රඥාවෙන් නැසීමෙන් මෙම ක්‍රියාවලිය නතර කිරීම ‘භව නිරෝධෝ නිබ්බානං’ හෙවත් නිර්වාණය ලෙස හැඳින්වේ.
භව පච්චයා ජාති
- ජාතිය (Birth)
ත්‍රිපිටක ධර්මයට අනුව, ජාතිය (පාලි: ජාති) යනු “ඉපදීම” යන්නයි. පටිච්චසමුප්පාද දේශනාවෙහි, දුක්ඛස්කන්ධය ගොඩනැගෙන ආකාරය විස්තර කරන හේතු-ඵල දාමයේ අවසන් පුරුක් කිහිපයෙන් එකක් ලෙස මෙය අතිශය වැදගත් වේ. බුදු දහමේ ඉගැන්වෙන පරිදි, ජාතිය යනු හුදෙක් නව ජීවයක් ආරම්භ වීම පමණක් නොව, එය සියලු දුක්ඛයන්ගේ ආරම්භක දොරටුවයි.
ජාතිය හටගැනීම
ජාතියට ආසන්නම හේතුව භවයයි. ‘භව පච්චයා ජාති’ යනුවෙන් දැක්වෙන්නේ “භවය ප්‍රත්‍යය වීමෙන් ජාතිය හෙවත් ඉපදීම සිදුවේ” යන්නයි.
පෙර භවයන්හි උපාදානයෙන් යුතුව රැස් කළ කර්ම ශක්තිය (කම්ම භව) හේතුවෙන් සකස් වූ පැවැත්මේ ක්‍රියාවලිය (උපත්ති භව), නව ජීවයක් ලෙස යම් භවයක මව්කුසක හෝ වෙනත් ආකාරයකින් (උදා: ඕපපාතිකව) හට ගැනීමට මඟ පාදයි. භවය යනු පැවැත්ම සඳහා ඇති විභව ශක්තිය නම්, ජාතිය යනු එම ශක්තිය යම් භවයක ප්‍රත්‍යක්ෂ වීම හෙවත් මූර්තිමත් වීමයි.
ත්‍රිපිටකයේ එන ජාතියේ විග්‍රහය
සූත්‍ර දේශනාවල ජාතිය යන්න ඉතා පුළුල් ලෙස විග්‍රහ කර ඇත. එහි සරල අර්ථය නම්:
“යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජාති සංජාති ඔක්කන්ති අභිනිබ්බත්ති, ඛන්ධානං පාතුභාවෝ, ආයතනානං පටිලාභෝ” (විභංග සූත්‍රය – සංයුක්ත නිකාය) – “ඒ ඒ සත්ව නිකායයන්හි (උපදින තැන්වල) ඒ ඒ සත්වයන්ගේ යම් ඉපදීමක්, මැනවින් හටගැනීමක්, (මව්කුසකට) බැසගැනීමක්, මනාව නිපදවීමක් වේද, (රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන) ස්කන්ධයන්ගේ පහළ වීමක් වේද, (ඇස, කන ආදී) ආයතනයන්ගේ ලැබීමක් වේද, එය ජාතිය නම් වේ.”
මෙම විග්‍රහයට අනුව, ජාතිය යනු:
• නව ජීවියෙකු ලෙස හට ගැනීම.
• පංචස්කන්ධයේ (ශරීරයේ සහ මනසේ) පහළ වීම.
• ඇස, කන, නාසය ආදී ඉන්ද්‍රිය පද්ධතියක් ලැබීම.
ජාතියේ විපාකය: සියලු දුකට දොරටුව
බුදු දහමේ ඉගැන්වීම්වල හරය නම්, ඉපදීම යනුම දුකට හේතුවක් බවයි. ඉපදීමක් නොමැති නම්, ඉන් අනතුරුව එන කිසිදු දුකක් හටගන්නේ නැත. පටිච්චසමුප්පාද දේශනාවට අනුව, මෙම සම්බන්ධය මෙසේය:
“ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.” (පටිච්ච සමුප්පාද සූත්‍රය – සංයුක්ත නිකාය) – “උප්පත්තිය නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝද ඇතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ ඇතිවීම වෙයි.” මේ අනුව, ජාතිය යනු සංසාර දුක්ඛ චක්‍රය ආරම්භ කරන ප්‍රධාන දොරටුවයි.
ජාති නිරෝධය (ඉපදීම නැති කිරීම)
දුකින් සම්පූර්ණයෙන් මිදීම හෙවත් නිර්වාණය යනු මෙම නැවත නැවත ඉපදීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් නැවැත්වීමයි. “ජාතිනිරොධා ජරාමරණං, සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා නිරුජ‍්ඣන‍්ති.” – “ඉපදීම නිරුද්ධ වීමෙන් ජරාව, මරණය, ශෝකය, වැළපීම ආදී සියලු දුක්ඛස්කන්ධය නිරුද්ධ වේ.” යනුවෙන් සංයුත්ත නිකායේ විභංග සූත්‍රයේ සඳහන් වන්නේ ඒ හේතුවෙනි.
ඉපදීම නැති කළ හැක්කේ එහි හේතුව නැති කිරීමෙනි. එනම්, භවය නිරෝධ කිරීමෙනි, හෙවත් අවසන් කිරීමෙනි. ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීමෙන් තණ්හාව සහ උපාදානය ප්‍රහීණ කළ විට, නව කර්ම රැස්වීම (කම්ම භවය) නතර වේ. එමඟින් නැවත උපත්ති භවයක් සකස් වීම නතර වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස නැවත ඉපදීමක් (ජාති) සිදු නොවේ.
සාරාංශය ලෙස ගත් විට, ජාතිය යනු පෙර කර්ම ශක්තියෙන් සකස් වූ භවය (becoming) ප්‍රත්‍යක්ෂ වීමෙන්, යම් භවයක පංචස්කන්ධය සහ ආයතන සහිතව නව ජීවයක් ලෙස “ඉපදීමයි”. මෙම ඉපදීම, ජරාව, මරණය, ශෝකය, වැළපීම ආදී සියලු දුක්ඛයන්ගේ ආරම්භක දොරටුව ලෙස ක්‍රියා කරයි. සංසාර දුකින් සම්පූර්ණයෙන් මිදීම හෙවත් නිර්වාණය යනු මෙම ඉපදීමේ ක්‍රියාවලිය නැවැත්වීම වන අතර, එය ඉපදීමට හේතුවන භවය නිරුද්ධ කිරීමෙන් සාක්ෂාත් කරගත හැක. භවය නිරුද්ධ කිරීම සඳහා ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීමෙන් තණ්හාව සහ උපාදානය ප්‍රහීණ කළ යුතුය.
ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති
- ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දොමනස්ස, උපායාස (Ageing, Death, Sorrow, Lamentation, Pain, Grief, and Despair)
“ජාති පච්චයා ජරාමරණං සෝකපරිදේවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති.” (ඉපදීම ප්‍රත්‍යයෙන් දිරාපත් වීම, මරණය, ශෝකය, වැළපීම, කායික දුක, මානසික දුක සහ කම්පනය හටගනී.) මෙම පද සමූහය, පටිච්චසමුප්පාද දේශනාවේ අවසාන ප්‍රතිඵලය ලෙස දැක්වෙන සම්පූර්ණ දුක්ඛස්කන්ධය (The entire mass of suffering) විස්තර කරයි. ත්‍රිපිටකයේ, විශේෂයෙන්ම සංයුත්ත නිකායේ විභංග සූත්‍රයට අනුව මෙම එක් එක් පදයේ අර්ථය මෙසේය:
- ජරා (Jarā) – දිරාපත් වීම
ත්‍රිපිටකයේ “ජරා” යන්නෙන් අදහස් කරන්නේ හුදෙක් වයසට යෑම පමණක් නොවේ. එය ජීවියෙකුගේ ශරීරයේ සහ ඉන්ද්‍රියයන්ගේ ක්‍රමානුකූල පරිහානියයි. සූත්‍රයට අනුව එය මෙසේ විග්‍රහ වේ: “යම් යම් සත්වයන්ගේ, යම් යම් සත්ව නිකායන්හි වයසට යෑම, දිරාපත් බව, දත් වැටීම, කෙස් පැසීම, සම රැලි වැටීම, ආයුෂ පිරිහීම, ඉන්ද්‍රියන්ගේ මුහුකුරා යෑම යන ස්වභාවයයි.” - මරණ (Maraṇa) – මරණය
මෙය ජීවිතයක අවසානයයි. විභංග සූත්‍රය මරණය විග්‍රහ කරන්නේ මෙසේය: “යම් යම් සත්වයන්ගේ, ඒ ඒ සත්ව නිකායන්ගෙන් චුත වීම (භවයෙන් පහවීම), වෙන්වීම, ශරීරය බිඳී යාම, ජීවිත ඉන්ද්‍රිය නැසී යාම, කාලක්‍රියා කිරීම යනුවෙන් හඳුන්වන ස්වභාවයයි.” සරලවම, පංචස්කන්ධයේ බිඳී යාම මරණයයි.
මෙම “ජරා” සහ “මරණ” යනු උපත ලැබූ සියල්ලන්ටම මුහුණ දීමට සිදුවන භෞතික යථාර්ථයන්ය. පහත දැක්වෙන්නේ එම ජරා-මරණ සහ ජීවිතයේ වෙනත් අමිහිරි අත්දැකීම් නිසා ඇතිවන මානසික සහ කායික දුක් වේදනායි.
- සෝක (Soka) – අභ්‍යන්තර ශෝකය (Internal grief)
මෙය අභ්‍යන්තර මානසික වේදනාවයි. යම් විපතක්, වෙන්වීමක් හෝ පාඩුවක් නිසා සිත තුළ ඇතිවන තැවීම සහ දුකයි. “නෑදෑ හිතමිතුරන්ගේ විපතකින්, ධනය විනාශ වීමකින්, රෝගාබාධයකින් යුක්ත වූ විට, ඒ තැනැත්තාට ඇතිවන ශෝකය, ශෝක ස්වභාවය, සිතේ ඇතුළතින් ඇතිවන තැවීමයි.” - පරිදේව (Parideva) – හඬා වැළපීම (Lamentation)
මෙය “සෝකයේ” බාහිර ප්‍රකාශනයයි. අභ්‍යන්තර ශෝකය දරාගත නොහැකිව හඬමින්, විලාප කියමින් දුක ප්‍රකාශ කිරීමයි. එනම් විපතකින් යුක්ත වූ තැනැත්තාගේ ආදේවය , පරිදේවය, හඬා වැළපීම හා විලාප කීමයි. - දුක්ඛ (Dukkha) – ශරීරයට දැනෙන වේදනාව (Bodily pain)
පටිච්චසමුප්පාදයේදි “දුක්ඛ” යන්නෙන් ප්‍රධාන වශයෙන් අදහස් කරන්නේ ශාරීරික වේදනාවයි. “ශරීරයෙහි හටගන්නා කායික වේදනාව, අපහසුව, කායික ඵස්සය නිසා හටගන්නා වේදනාකාරී අත්දැකීමයි.” - දොමනස්ස (Domanassa) – සිතට දැනෙන වේදනාව (Mental pain)
මෙය “දුක්ඛ” යන්නෙහි මානසික පැතිකඩයි. සිතට දැනෙන වේදනාව, අපහසුව සහ පීඩනයයි. “සිතෙහි හටගන්නා මානසික වේදනාව, මානසික අපහසුව, මනෝ ඵස්සය නිසා හටගන්නා වේදනාකාරී අත්දැකීම, සිත් තැවුලයි.”
සෝක හා දොමනස්ස අතර වෙනස;
සෝක යනු යම් විපතක් නිසා සිතේ ඇතිවන ගැඹුරු ශෝකය හෙවත් අභ්‍යන්තර දැවිල්ලයි. දොමනස්ස යනු එම ශෝකය නිසා (හෝ වෙනත් හේතුවක් නිසා) ඇතිවන, සිතින් විඳින වේදනාව හෙවත් මානසික පීඩාවයි.
o සෝකය; සාමාන්‍යයෙන් ඇතිවන්නේ යම්කිසි බරපතල විපතක් හෝ අහිමි වීමක් නිසාය. (උදා: ඥාතියෙකු මියයාම, ධනය විනාශ වීම).
o දොමනස්ස; ඕනෑම අප්‍රිය අරමුණක් නිසා ඇතිවිය හැක. (උදා: යමෙකු බැන වැදීම, බලාපොරොත්තු කඩවීම, ශාරීරික වේදනාව නිසා සිතට දුක් දැනීම)
- උපායාස (Upāyāsa) – දැඩි කම්පනය / බලාපොරොත්තු සුන්වීම
ශෝකය සහ මානසික වේදනාව (දොමනස්සය) දරාගත නොහැකිව, සිත වෙහෙසට පත්වී බිඳවැටෙන, බලාපොරොත්තු සුන්වූ තීව්‍ර මානසික පීඩාවේ සහ කම්පනයේ උච්චතම අවස්ථාවයි.
සාරාංශය ලෙස ගත් විට, ඉපදීම (ජාතිය) නිසා, අනිවාර්යයෙන්ම දිරාපත් වීමට (ජරා) සහ මරණයට (මරණ) පත්වන බවත්, එම ජීවිත කාලය තුළදී විවිධ පාඩු සහ විපත් නිසා ශෝක කිරීම (සෝක), හඬා වැළපීම (පරිදේව), කායික වේදනා (දුක්ඛ), මානසික වේදනා (දොමනස්ස) සහ දැඩි කම්පනය (උපායාස) යන සමස්ත දුක් ගොඩටම මුහුණ දීමට සිදුවන බව මෙම පද සමූහයෙන් අදහස් වේ.
සාරාංශය
බුදු දහමේ පටිච්චසමුප්පාදය අනුව සංසාර චක්‍රය ආරම්භ වන්නේ චතුරාර්ය සත්‍යය පිළිබඳ නොදැනීම හෙවත් අවිද්‍යාව නමැති මුලාවෙනි. මෙම නොදැනුවත්කම නිසා සත්ත්වයා අනාගත භවය සකස් කරන සංස්කාර (කර්ම) රැස් කරන අතර, එම කර්ම ශක්තියෙන් විඤ්ඤාණය (දැනගැනීම), නාමරූප (සිත සහ කය) සහ සළායතන (ඉන්ද්‍රිය දොරටු) සහිත නව පැවැත්මක් ඇතිවේ. එම ඉන්ද්‍රිය දොරටු, ලෝකය හා ගැටීමෙන් (ඵස්සය) හටගන්නා වේදනාව (විඳීම) නිසා, තණ්හාව (ඇලීම) සහ එය තීව්‍ර වූ උපාදානය (දැඩිව අල්ලා ගැනීම) ඇතිවේ. මෙම දැඩිව අල්ලා ගැනීමම නැවත භවය (පැවැත්මේ ක්‍රියාවලිය) සකස් කර, ජාතිය (ඉපදීම) ඇති කරන අතර, ඒ ඉපදීම නිසාම ජරා, මරණ, ශෝකය ආදී සියලු දුක්ඛස්කන්ධය උරුම වේ.
මෙම දුක්ඛ චක්‍රය බිඳ දැමීම, එනම් නිර්වාණය, සිදුවන්නේ මෙහි ආරම්භක හේතුව වන අවිද්‍යාව නැසීමෙනි. බුදු දහමට අනුව, ‘අවිද්‍යාව මුළුමනින්ම නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වේ’ (අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ). මෙසේ සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වන අතර, ඒ අනුපිළිවෙලින්ම දාමයේ සියලු පුරුක් බිඳී යයි. අවසානයේදී, ‘ඉපදීම නැති කිරීමෙන්, ජරා, මරණ, ශෝකය ආදී සියලු දුක්ඛස්කන්ධය නිරුද්ධ වේ’ (ජාති නිරෝධා ජරාමරණං… නිරුජ්ඣන්ති). මෙම අවිද්‍යාව නසන ප්‍රඥාව ඇතිවන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය, විශේෂයෙන්ම සම්මා දිට්ඨිය වැඩීමෙනි.
මේ අනුව, පටිච්චසමුප්පාදය යනු දුක හටගන්නා ආකාරය (සමුදය) මෙන්ම, දුක නැතිවන ආකාරය (නිරෝධය) ද එකසේ පෙන්වා දෙන ගැඹුරු දහමකි.
පටිච්චසමුප්පාද චක්‍රය හා එයින් මිදීම
පටිච්චසමුප්පාද ධර්මය යනු සංසාර චක්‍රයේ ක්‍රියාකාරිත්වය පැහැදිලි කරන අතිශය ගැඹුරු දහම් කරුණකි. අවිද්‍යාව මුල් කොටගෙන, සංස්කාර, විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්ස, වේදනාව, තණ්හාව, උපාදානය, භවය, ජාතිය, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොමනස්ස, සහ උපායාස යන අංග දොළහ හේතුඵල වශයෙන් එකින් එකට සම්බන්ධ වෙමින්, සත්ත්වයා දුකෙහි ගිලී සිටින ආකාරය මෙම ධර්මය මගින් විග්‍රහ කෙරේ. මෙහිදී අවිද්‍යාව සහ සංස්කාර අතීත හේතු වන අතර, තණ්හාව, උපාදානය සහ භවය සකස් වීම වර්තමාන හේතු වේ. මෙම හේතු නිසා වර්තමාන හා අනාගත භවයන්හිදී දුක් සමුදාය හටගනී.
කෙසේ වෙතත්, මෙම චක්‍රය දුක් සමුදය හෙවත් දුක ඇතිවීම විස්තර කරන්නා සේම, දුක් නිරෝධය හෙවත් දුක නැති කිරීමේ මාර්ගය ද පෙන්වා දෙයි. එහි මූලික සිද්ධාන්තය නම්, හේතු-ඵල චක්‍රයේ ඕනෑම පුරුකක් බිඳ දැමීමෙන්, ඉන්පසු ඇතිවන ප්‍රතිඵල ද නිරුද්ධ වීමයි. උදාහරණයක් ලෙස, අප අත්විඳින ජරා-මරණ ආදී දුක්ඛස්කන්ධය, විඳීමෙන් (වේදනාව) පසුව හටගන්නා තණ්හාව මත යැපේ. යමෙකු සිහියෙන් යුතුව, වේදනාවෙන් පසු තණ්හාව හටගැනීමට ඉඩ නොදුනහොත්, උපාදානය, භවය, ජාතිය සහ ජරා-මරණ යන සමස්ත දුක්ඛ දාමයම බිඳ දැමීමේ හැකියාව උදා වේ.
මෙම ක්‍රියාවලියේ පරම නිරෝධය සිදුවන්නේ චක්‍රය ආරම්භ වන අවිද්‍යාව මුලිනුපුටා දැමීමෙනි. අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමියන්ගේ “පටිච්ච සමුප්පාද විවරණය” නමැති ග්‍රන්ථයේ සඳහන් පරිදි ” අවිජ්ජායත්වේව අසේසවිරාග නිරෝධා සංඛාර නිරෝධෝ…” (ලෝකෝත්තර මාර්‍ගඥාන සංඛ්‍යාත විද්‍යාව කරණ කොට ගෙන අවිද්‍යාවගේ නිරවශේෂ නිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ) යන පාඨයෙන් සනාථ වන පරිදි, අවිද්‍යාව පළමුව නිරෝධ කිරීමෙන්, සංස්කාරයන් නිරෝධ වන අතර, එලෙසම සමස්ත චක්‍රයම නිරෝධ වී, දුකින් සම්පූර්ණයෙන්ම නිදහස් විය හැකිය. අවිද්‍යාව නිරෝධ කිරීම සඳහා ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව බුදු දහමේ මූලික ඉගැන්වීමයි.
අවසාන වශයෙන්, පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබීමෙන්, සංසාර දුකින් මිදීමට ඇති නිවැරදි, ප්‍රායෝගික මාර්ගය හඳුනාගත හැකි බව මෙම විශ්ලේෂණයෙන් පැහැදිලි වේ. එබැවින්, මෙම හේතු-ඵල චක්‍රය අවබෝධ කරගැනීම, දුකින් මිදීමේ මාර්ගය වන නිර්වාණය සාක්ෂාත් කිරීමේ පළමු සහ වැදගත්ම පියවර වන්නේය.




























