කන්ද උඩරට රාජධානියෙහි පරිපාලනය

කන්ද උඩරට රාජධානියෙහි සංක්ෂිප්ත ඉතිහාසය - 3

0
4508

(විකිපීඩියා නිදහස් විශ්වකෝෂය ඇසුරෙන් සකසන ලදී)

කන්ද උඩරට රාජධානියෙහි දිසාවන්හි මායිම් (ක්‍රි.ව. 1796)

කන්ද උඩරට රාජධානියෙහි පරිපාලන ව්‍යුහය ප්‍රධාන වශයෙන් බෞද්ධ භික්ෂුන් ගෙන් අනුශාසනා ලබා රටෙහි පවතින චාරිත්‍ර වාරිත්‍ර හා සම්ප්‍රදායන්ට අනුකූලව රට පාලනය කරන රජුගෙන් ද, ඔහු යටතේ වූ මහ අදිකාරම්තුමා ඇතුළු අදිකාරම් වරුන් ගෙන් සමන්විත වූ අමාත්‍ය මණ්ඩලයකින් ද, රටේ ප්‍රාදේශීය පාලකයන් වූ දිසාවේවරුන්ගෙන්ද, එම දිසාවේවරුන් යටතෙහි වූ, කෝරාලේ, විදානේ හා ගම්මුලාදෑනියන්ගෙන් ද සමන්විත විය. වැසියන් රජු ට නොහොත් මහා භාණ්ඩාගාරයට අය බදු ගෙවිය යුතු වූ අතර “රාජකාරිය” ලෙස නම් කරන ලද සේවාවක්ද රජු වෙත සැපයීමට බැඳී සිටියහ. එසේම රජු විසින් පොදු සුබසාධන කටයුතු සහ රටේ අරක්ෂාව සපයන ලදී.

රජු

රජු රටේ ප්‍රධාන නායකයා වූ අතර සියලුම ඉඩම් වල හිමිකරුද විය. නමුත් බෞද්ධ භික්ෂූන්ගේ හා ප්‍රාදේශීය නායකයින්ගේ අනුශාසන පරිදි රට පාලනය කළ යුතු විය.

අධිකාරම්

රජු විසින් තම ඇමති මණ්ඩලය සඳහා අදිකාරම්වරු සුළු පිරිසක් පත් කරන ලදී. ඉන් ජේෂ්ඨතම අදිකාරම්වරයා මහ අදිකාරම් ලෙස නම් විය. ඔහු දැනට අප රටේ පවතින අගමැති තනතුරට සමාන තනතුරක් දැරුවේය. මෙම පදවියට කාල සීමාවක් නොමැති වූ අතර, රජුගේ අභිමතය පරිදි එම කාල සීමාව වෙනස් විය. මෙම තනතුර පාරම්පරික උරුමයක් නොවූ නමුත් එකම පවුලේ අයවලුන් මෙම උසස් නිලය සඳහා පත් කොට ඇති බව නිරීක්ෂණය කළ හැක.

දිසාව

දිසාව ද රජු විසින් පත් කරනු ලැබූ අතර ඔවුහු රජු නියෝජනය කරමින් රටේ ප්‍රදේශ (දිසාවන්) පාලනය කළේය. තම පාලිත ප්‍රදේශයේ රජු වෙනුවෙන් අය බදු එක්රැස් කිරීම,  සුලු නඩු හබ විසඳිම, රජු වෙනුවෙන් වූ රාජකාරි සඳහා වැසියන් දිරි ගැන්වීම ආදී දේ මෙම දිසාවන් විසින් ඉටු කරන ලදී. වර්තමානයේ දී අප රටේ පළාත් ආණ්ඩුකාර වරයෙකුගේ වගකීමට ඉතාම දළ වශයෙන් මෙම පදවිය සමාන කළ හැක. මෙම තනතුරද රජුගේ අභිමතය පරිදි පැවැත්වුණු අතර ඒ සඳහා නිශ්චිත කාලසීමාවක් නොවීය. රජුගේ අභිමතය ඇති නම් එය ජීවිතාන්තය දක්වාම දැරිය හැකි විය. එසේම මෙම තනතුරද පාරම්පරික උරුමයෙන් නොපැමිණිද එකම පවුලේ අයවලුන් පත් කිරීම නිරීක්ෂණය කළ හැක.

කන්ද උඩරට පරිපාලන ප්‍රදේශ

  • උඩ පළාත 
  • වෙල්ලස්ස සහ බින්තැන්න
  • හාරිස්පත්තුව 
  • මාතලේ 
  • නුවර කලාවිය 
  • තමන්කඩුව 
  • සත් කෝරළේ 
  • තුන් කෝරළේ 
  • හතර කෝරළේ 
  • ඌව 

කෝරාළ හෙවත් රටේ මහත්මයා

මෙම නිලය සඳහාද රජු විසින් පුද්ගලයින් පත් කරන ලද අතර ඔවුන් විසින් දිසාව නම් ප්‍රදේශයේ අනු කොටසක් වූ කෝරළය බැගින් පාලනය කරන ලදී. මොවුන් දිසාව යටතේ රාජකාරි කළ අතර මොවුන්ගේ රාජකාරි කාලසීමාවද රජු විසින් තීරණය කරන ලදී. මෙම තනතුරද පාරම්පරික උරුමයක් නොවූනද එක ම පවුලේ අයවලුන් පත් කිරීම නිරීක්ෂණය කළ හැකි විය.

විදානේ 

ගම්මාන කිහිපයක පරිපාලනමය කටයුතු අධීක්ෂණය කළ අතර, වර්තමාන ග්‍රාම නිලධාරීගේ රාජකාරි හා සමාන රාජකාරීන් කළ නිලධාරියෙකි.

දියවඩන නිලමේ 

දියවඩන නිලමේතුමා රජ මාලිගය හා දළදා මාලිගයද, දන්ත ධාතුන් වහන්සේගේ වතාවත්ද, වාර්ෂික ඇසළ පෙරහැර පැවැත්වීමේ වගකීමද සම්බන්ධව ක්‍රියා කල නිලධාරියා විය.

නින්දගම 

රජුගේ ඉඩම් වල පදිංචි වන අය රජු වෙත නොහොත් ප්‍රධාන භාණ්ඩාගාරය වෙත බදු ගෙවිය යුතු විය. තවද රාජ්‍ය සේවය කරන්නන් හට රජු විසින් ඉඩම් පවරා දෙනු ලැබිණ. එම රජු විසින් රාජ්‍ය සේවය සඳහා පවරන ලද ඉඩම් “නින්දගම්”  ලෙස හැඳින් වුණු අතර එම නින්දගම් වලින් ලැබෙන බද්ද අදාළ නින්දගම් හිමියාට හෙවත් ගම්ලද්දාට ලැබිණ. එය එම රාජ්‍ය සේවය කරන නිලධාරියාට ලැබුණු වැටුපකට හා සමාන විය.

නින්දගම් උඩරට ප්‍රදේශයෙන් බැහැර සබරගමුව, ඌව, මාතලේ, තුන්කෝරළේ, හතර කෝරළේ, හත් කෝරළේ වැනි පළාත්වල තිබූ අතර උඩරට ප්‍රදේශයෙහි වැසියන් සාමාන්‍යයෙන් ඉඳුරාම රජු වෙත යටතව සිටියහ.

නින්ද ගමක් ගත් විට විවිධ  කුලවල වැසියන්ද විවිධද රාජකාරී කරන රාජ්‍ය සේවකයින්ද ජීවත් විය. නින්දගමට අයත් ගම්වල ඉඩම් සඳහා එම ඉඩම් හිමියන් විසින් පෙර සඳහන් කළ පරිදි ගම්ලද්දා හෙවත් නින්දගම් හිමියාට බද්දක් ගෙවිය යුතු විය. මෙසේ නීත්‍යානුකූලව බදු ගෙවීම් කරන ලද නම් එම ඉඩම් වලින් එම ඉඩම් හිමියන්ව ඉවත් කිරීමට නින්දගම් හිමියාට නොහැකි විය. නින්දගම් තුළ වූ බදු ඉඩම් බල පාලනය ඉඳුරාම ගම්ලද්දාට ලැබුණද, ගම් වැසියන් වෙත ප්‍රවේනි උරුමයෙන් ලැබූ ඉඩම් හා ඔවුන් නීත්‍යානුකූලව බදු ගෙවමින් ලබාගත් ඉඩම් අන්සතු කිරීම නින්ද ගම් හිමියාට නොහැකි විය. රටේ තිබූ සියළුම ඉඩම් සම්බන්ධ විස්තර ලේකම් මිටි නැමති ලේඛන වල සඳහන් කොට ඉතාමත් සුරක්ෂිතව තබා ගන්නා ලදී.

නින්දගම රජුට අවශ්‍ය ඕනෑම මොහොතක පවරා ගැනීමට හැකි වුවද, නින්දගම් ලද්දා රජුගේ සිත දිනාගෙන රාජකාරි කටයුතුවල යෙදුණ හොත් ඔහුටද ඔහුගේ ප්‍රවේණි උරුමක්කාරයින්ටද නින්දගම දිගටම භුක්ති විඳීමේ හැකියාව තිබිණ. එසේම නින්දගමෙහි ජීවත් වූ වැසියන් තමන්ට හිතවත්ව තබා ගැනීම මගින් නින්දගම් හිමියාට තමාගේ සියලුම අවශ්‍යතා නින්දගම තුලින් සපයා ගැනීමටත් ඔවුන් සියලුම දෙනාට ඉහළින් වැජඹීමට හැකියාව ලැබිණි. මෙයින් ප්‍රාදේශීය රාජ්‍ය ලද්දෙකු හා සමාන තත්වයකට නින්දගම් හිමියා පත්වූ අතර ඔහුට විශාල කාර්ය මණ්ඩලයක්ද විය. ඔවුන් හඳුන්වන ලද්දේ පළමු නිලධාරීන් ලෙසිනි. නින්ද ගමට අයත් රාජකාරී ලේකම් මිටි “වළවු ලේකම් මිටි” ලෙසින් හැඳින්වුණ අතර සියලු තොරතුරු ඒවායේ ඇතුලත් කෙරිණි.

හමුදාමය රාජකාරීන් 

කන්ද උඩරට රාජධානියෙහි රජ මාලිගාවේ හි ආරක්ෂාව සඳහා සිටි භටපිරිස් වලට අමතරව වෙනත් විශාල යුධ හමුදා භට පිරිස් ප්‍රමාණයක් රජු පූර්ණ කාලීනව නඩත්තු කළේ නැත. නමුත් උපාය මාර්ගික කඳු මුදුන් ආරක්ෂා කිරීමට හා කැරැලි මැඩපැවැත්වීම සඳහා ප්‍රාදේශීය හමුදා නඩත්තු කරන ලදී. මෙම භට පිරිස් යුද ක්‍රියාන්විත වලදී ප්‍රධාන සේනාංකයන් සමඟ අනුයුක්තව කටයුතු කරන ලදී.

රාජ මාලිගාවෙහි ආරක්ෂාවට සිටි භට පිරිස් වලින් පිරිසක් කුලී හේවායන් වූහ. රජු නායක්කාර් වංශිකයෙකු වූ විට දකුණු ඉන්දියානු දෙමළ සොල්දාදුවන් විශාල පිරිසක් රජුගේ පෞද්ගලික ආරක්ෂක භට පිරිස් වලට ඇතුළත් විය. මීට අමතරව, මෙම කාලය තුළ විවිධ යුරෝපීයයන් රජුගේ යුධ සේවයේ යෙදී සිටි අතර මැලේ ජාතිකයින්ද විශාල පිරිසක් සිටියහ.

හමුදාව සම්බන්ධයෙන් ගත් කල, සෑම ප්‍රාදේශීය නායකයෙකුටම හමුදා අනුඛණ්ඩයක් කැඳවිය හැකි විය. කන්ද උඩරට රාජධානියෙහි සිටි හමුදාවෙන් වැඩි ප්‍රමාණයක් සමන්විත වූයේ දේශීය ගොවි බලකායන්ගෙනි (යුධ සමයේ සේවයට යොදවා ගැනීමට රාජකාරියක් ලෙස නම් කරන ලද වැසියන් ගෙනි) ඔවුන් දින විස්සක් පමණ වටිනා සැපයුම් රැගෙන ඒමට නැඹුරු වූ අතර බොහෝ සොල්දාදුවන්ට ඔවුන්ගේ සැපයුම් අවසන් වූ පසු නැවත සැපයුම රැගෙන ඒම සඳහා කඳවුරට යාමට සිදු වූ හෙයින්, ඔවුන් අල්ලා ගත් භූමිය රඳවා ගැනීමට නොහැකි විය.

ඉහත දත්තයන් සැලකිල්ලට ගැනීමේදී  කන්ද උඩරට රාජධානියෙහි හොඳ පරිපාලනමය ව්‍යුහයක් තිබූ බව නිරීක්ෂණයවේ. 

ගම්මුලාදෑනියාගෙන් හෙවත් ගමෙහි වූ නායකයාගෙන්, ගම් කිහිපයක පරිපාලන කටයුතු අධීක්ෂණය කළ විදානේගෙන්, විදානේවරුන් අධීක්ෂණය කළ ප්‍රදේශ කිහිපයක් එනම්  කෝරළයක් අධීක්ෂණය කරන ලද කෝරාළ හෙවත් රටේ මහත්තයාගෙන්, කෝරළ කිහිපයක් අධීක්ෂණය කළ දිසාවගෙන්, දිසාවවරුන් හා රජතුමා සම්බන්ධීකරණය කරන ලද අදිකාරම්වරුන්ගෙන් හා භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ ප්‍රාදේශීය නායකයින්ගෙන් අනුශාසනය ලබාගත් රටේ චාරිත්‍ර වාරිත්‍ර හා සම්ප්‍රදායන්ට අනුව රට පාලනය කළ රජුගෙන් රට පාලනය වූ බවට නිගමනයකට ඒමට හැකි ය. 

එසේම රටෙහි වූ සියලු ඉඩම් සම්බන්ධ විස්තර ලේකම් මිටි හා වලව් මිටි වල ලිඛිත ව තිබීම, ඉඩම් අයිතිය සම්බන්ධව ගැටලු වලදීත්, අයබදු එකතු කිරීම් වලදීත් ඉතා පහසු කාර්යක්ශම තත්ත්වයක් ඇතිවීමට හේතු විය.

මෙම පරිපාලන ක්‍රමයෙන් යුක්තිය පසිඳලීම, අයබදු එකතු කිරීම, පොදු සුබ සිද්ධිය සඳහා වූ ක්‍රියාවන් සිදු කිරීම, හා අවශ්‍ය වූ විටෙක දී රටෙහි ආරක්ෂාව සඳහා යුධ හමුදාවක් නඩත්තු කිරීම හා එය ක්‍රියාවෙහි යෙදවීමට හැකි වූ බව නිරීක්ෂණය වේ. 

LEAVE A REPLY

Please enter your comment!
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න