(විකිපීඩියා නිදහස් විශ්වකෝෂය ඇසුරෙන් සකසන ලදී)
හැඳින්වීම

කන්ද උඩරට රාජධානිය හෙවත් මහනුවර රාජධානිය (KINGDOM OF KANDY ) ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවේ බස්නාහිර කොටසේ පිහිටි කෝට්ටේ රාජධානියේ සේවාදායක රාජ්‍යයක් ලෙස පැවත, පසුව එනම් 16 සහ 17 වන සියවස් වල දී ස්වාධීන රාජ්‍යයක් ලෙස ස්ථාපිතව 19 වන සියවසෙහි මුල් භාගය දක්වා ශ්‍රී ලංකාවේ මධ්‍යම හා නැගෙනහිර කොටසේ පැවතුන ස්වාධීන රාජ්‍යයකි. මෙම රාජ්‍යය එහි පැවැත්ම සඳහා විවිධ අවස්ථා වලදී යාපන රාජධානිය, දකුණු ඉන්දියාවේ මදුරෙයි නායක්කර් රාජවංශය, සීතාවක රාජධානිය, හා ලන්දේසි යටත් විජිතවාදීන් සමග සන්ධාන ගත විය.
කන්ද උඩරට රාජධානිය ක්‍රි.ව. 1590 ට ආසන්න වර්ෂ වලදී ශ්‍රී ලංකාවේ තිබූ එකම ස්වාධීන ස්වදේශික දේශපාලනය වූ අතර ප්‍රධාන වශයෙන් ගරිල්ලා සටන් උපක්‍රම භාවිත කරමින් දසක ගණනාවක් එය එහි ස්වාධීනත්වය ආරක්ෂා කර ගත්තද, විවිධ හේතූන් නිසා ක්‍රි.ව 1815 දි බ්‍රිතාන්‍යයන් සමඟ ඇතිකර ගැනීමට සිදු වූ උඩරට ගිවිසුම මගින් එය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ආරක්ෂිත රාජ්‍යයක් (Protectorate) වී එහි පරිපාලනය බ්‍රිතාන්‍යයන් අතට පත් වීමෙන් සහ ක්‍රි.ව 1818 ඌව කැරැල්ල පරාජය වීමෙන් එම ස්වාධීනත්වය එයට අහිමි විය
කන්ද උඩරට රාජධානියේ පිහිටීම සහ දේශගුණය
කන්ද උඩරට රාජධානිය ප්‍රධාන වශයෙන් නිරිතදිගින් කඳුකර වනාන්තර ප්‍රදේශයකින්ද, නැගෙනහිරින් තැනිතලා වනාන්තර ප්‍රදේශයකින්ද සමන්විත වූ අතර එය උතුරට යාපන රාජධානියෙන්ද, බස්නාහිරට සීතාවක රාජධානියෙන් හා රයිගම රාජධානියෙහි කොටසකින්ද දකුණට හා නැගෙනහිරට ඉන්දියන් සාගරයෙන්ද සීමා වී තිබිණ.
රාජධානිය තුළ වනාන්තර හා කඳු පිහිටා තිබීම හේතුවෙන්, සැඟව සිට සතුරාව විශ්මයට පත් කරමින් කරන ප්‍රහාර හා ගරිල්ලා උපක්‍රම සහිත සටන් මගින් සතුරාට ප්‍රහාර එල්ල කිරීමට එහි සිටි හමුදාවනට පහසු විය. එසේම අගනගරය වෙත ගමන් කිරීමට තිබුණු මාර්ගයන් වන දුර්ගයනගෙන් යුක්ත වූ බැවින් එමගින් සතුරාට අගනගරය වෙත ළඟාවීම අති දුෂ්කර විය. තවද සතුරු හමුදා අගනගරය ආක්‍රමණය කරන විටදී අගනගරයෙන් ඉවත් වීමත්, පසුව සතුරාගේ දුර්වල අවස්ථාවක් බලා පහර දීමත් කන්ද උඩරට රාජධානියේ හමුදාවල ප්‍රධාන යුධ උපක්‍රමයක් විය.
කන්ද උඩරට රාජධානියේ නැගෙනහිර සීමාව වූ ඉන්දියන් සාගරයට මුහුණලා මඩකලපුව වරාය රාජධානිය සතු වුවත් ඔවුනට නාවික බළ ඇණියක් නොවීය. එහෙයින් පෘතුගීසීන් හා ලන්දේසීන් රටෙහි මුහුදු බඩ ප්‍රදේශයේහි රැඳී සිටීම වැළැක් වීමට එයට නොහැකි විය.
කන්ද උඩරට රාජධානියේ නිරිතදිග කඳුකර ප්‍රදේශයට මෝසම් සුළං මගින් අධික වර්ෂාපතනයක් ලැබුන අතර නැගෙනහිර ප්‍රදේශයෙහි වියළි කාලගුණයක් තිබුණද එහි මැලේරියා රෝගය අධිකව ව්‍යාප්ත ව තිබිණ. මේ හේතුවෙන් යුද කටයුතු වලදී පැමිණි විදේශීය සතුරන්ට මෙම ප්‍රදේශය ඉතා දුෂ්කරතා ගෙන දෙන්නක් විය.
කන්ද උඩරට රාජධානියේ ඉතිහාසය (1469-1815)
14 වන ශතවර්ෂයේ මැද භාගය වන විට ගම්පොල හි III වන වික්‍රමාබාහුගේ පාලන සමයේදී (1357–1374) සෙන්කඩගලපුර නගරය ආරම්භ වන්නට ඇති බව විශ්වාස කෙරෙයි. 15 වන සියවසේ මුල් භාගයේ සිට 16 වන සියවසේ අග භාගය දක්වා මධ්‍යම ශ්‍රී ලංකාව කෝට්ටේ රජවරුන් විසින් පාලනය කරන ලදී. පෘතුගීසි ආක්‍රමණ හමුවේ කෝට්ටේ දුර්වල වීමත් සමඟ කන්ද උඩරට රාජධානියට අයත් ප්‍රදේශයන් එහි අගනුවර වූ සෙංකඩගලපුර සමඟ ස්වාධීන රාජධානියක් දක්වා වර්ධනය වන්නට විය. 1521 දී කෝට්ටේ රජ කළ VI විජයබාහු රජුගේ ඝාතනයෙන් පසුව කෝට්ටේ රාජධානිය සීතාවක, රයිගම සහ කෝට්ටේ ලෙස තරඟකාරී ප්‍රාන්ත තුනකට බෙදී ගිය හෙයින් තම ස්වාධීනත්වය තහවුරු කර ගත් කන්ද උඩරට රාජධානිය එය වටා පිහිටි අනෙකුත් රාජධානිවලට බරපතල ප්‍රතිවාදියෙකු ලෙස ඉස්මතු විය.
කන්ද උඩරට රාජධානියෙහි පාලකයින්
- සේනා සම්මත වික්‍රමාබාහු (1473–1511)
- ජයවීර බංඩාර (1511–1551)
- කරලියද්දේ බණ්ඩාර (1551–1581)
- දෝන කැතරිනා හෙවත් කුසුමාසන දේවිය (1581–1581)
- රාජසිංහ I (1581–1593)
- යමසිංහ බංඩාර රජු ( වර්ෂයක් )
- විමලධර්මසූරිය I (1590-1604)
- සෙනරත් (1604-1635)
- රාජසිංහ II (1635-1687)
- විමලධර්මසූරිය II (1687-1707)
- වීර නරේන්ද්‍ර සිංහ (1707–1739)
- ශ්‍රී විජය රාජසිංහ (1739–1747)
- කීර්ති ශ්‍රී රාජසිංහ (1747–1782)
- ශ්‍රී රාජාධි රාජසිංහ (1782–1798)
- ශ්‍රී වික්‍රම රාජසිංහ (1798–1815)
කන්ද උඩරට පරිපාලන ක්‍රමයට අනුව රජු සියලු ක්ෂේත්‍රවල ප්‍රධානියා විය. ඔහු “ලංකේශ්වර ත්‍රීසිංහලදීශ්වර” ලෙසද හැඳින්විණි. රජුට සියලු ඉඩම් අයිති බව පිළිගෙන ඇති අතර එබැවින් ඔහු “භූපති” ලෙසද හැදින්විය. රජු “ආදීශ්වර” ලෙස හැඳින්වුවද බෞද්ධ භික්ෂූන්ගේ හා ප්‍රාදේශීය අධිපතීන්ගේ උපදෙස් අනුව ඔහුට රට පාලනය කිරීමට සිදුවිය. එකල ජනප්‍රිය චාරිත්‍ර වාරිත්‍ර හා සම්ප්‍රදායන් අනුගමනය කිරීමට රජුට සිදු වු අතර එසේ නොවුවහොත් ජනතාව හා ප්‍රාදේශීය අධිපතින් ඔහුට විරුද්ධව කැරලි ගසනු ඇති බවට පිළි ගැනීමක් විය. තවද ජනප්‍රිය චාරිත්‍ර වාරිත්‍ර හා සම්ප්‍රදායන්ට අවනත නොවීම රජුගේ බලයට අහිතකර ලෙස බලපානු ලැබිණ. උදාහරණයක් ලෙස බෞද්ධ භික්ෂූන් ගේ හා ප්‍රාදේශීය අධිපතීන්ගේ උපදෙස් නොසලකා හැර පැරණි සම්ප්‍රදායන් අනුගමනය නොකිරීම නිසා කන්ද උඩරට අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට බ්‍රිතාන්‍යයන්ට යටත් වීමට සිදුවිය.
කන්ද උඩරට රාජධානිය පාලනය කළ 7 වන රජු වූ I වන විමලධර්මසූරිය රජුගේ පාලන සමයේ දී, ශ්‍රී ලංකාව තුළ වූ අවශේෂ රාජධානි බිඳ වැටීම හේතුවෙන් කන්ද උඩරට රාජධානිය පාලනය කල පාලකයා ශ්‍රී ලංකාවෙහි සම්මත සම්ප්‍රදාය අනුව මුළු දිවයිනේම පාලකයා බවට පත්විය.
I වන විමලධර්මසූරිය රජු (1590-1604)
දෙවතාවක්ම කන්ද උඩරට රාජධානිය ආක්‍රමණය කිරීමට යෙදුනා වූ සීතාවක I වන රාජසිංහ රජු ගේ යුද විශාරදයෙකු වු පේරාදෙණියේ විරසුන්දර මුදලිතුන්ව රාජසිංහ රජුගේම නියෝජිතයන් විසින් ඝාතනය කරන ලද හෙතුවෙන් පෘතුගීසින්ගේ රටට පලා ගිය විරසුන්දර මුදලිතුමාගේ පුත් කොන්නප්පු බන්ඩාර ක්‍රි.ව.1591 සිට ක්‍රි.ව 1594 දක්වා කාලය තුළ කන්ද උඩරට ප්‍රදේශයට පැමිණ, I වන විමලධර්මසූරිය රජු ලෙස කන්ද උඩරට රාජධානියෙහි බලය අල්ලා ගන්නා ලදී.
I වන විමලධර්මසූරිය රජු විවාහ වූයේ කුසුමාසන දේවිය හෙවත් දෝන කතිරිනා කුමරිය සමගයි. සීතාවක I වන රාජසිංහ රජු විසින් පලවා හරින්නට යෙදුනා වූ කන්ද උඩරට කරල්ලියද්දේ බංඩාර රජුගේ දියණිය වූ ඇය සීතාවක I වන රාජසිංහ රජුට බියෙන් පෘතුගීසීන් ගේ ආරක්ෂාව පතා ගොස් ක්‍රිස්තියානි ආගමට හැරී දෝන කතරිනා හෙවත් කුසුමාසන දේවිය නමින් ප්‍රසිද්ධ වුවාය. I වන විමලධර්මසූරිය රජු එම කුමරිය සමග විවාහ වීමෙන්, කන්ද උඩරට රාජධානියට ඇති රාජකීය උරුමය තහවුරු කර ගන්නා ලදී.
I වන විමලධර්මසූරිය රජු බලයට පත්වීමත් සමඟ ශ්‍රී ලංකාවේ උපායමාර්ගික තත්ත්වය විශාල ලෙස වෙනස් විය. පෘතුගීසීන් 1591 දී යාපනය රාජධානියේ රජු වු පූවිරාජා පණ්ඩාරම් රජු නෙරපා හැර ඔහුගේ පුත් එදිරිමානසිංහම්ව සේවාදායක රජෙකු ලෙස පත් කළේය. 1594 දී I වන රාජසිංහ රජු මිය ගිය අතර සීතාවක රාජධානිය බිඳී ගියේය. එවිට කන්ද උඩරට රාජධානිය යුරෝපීය ආධිපත්‍යයෙන් බැහැර එකම දේශීය දේශපාලනය වීම නිසා 1595 දී I වන විමලධර්මසූරිය රජු විසින් සිංහලයන් අතර රාජකීය හා ආගමික අධිකාරියේ සාම්ප්‍රදායික සංකේතය වන පූජනීය දන්ත ධාතූන් වහන්සේ මහනුවරට ගෙන එන ලදී.
I වන විමලදර්මසූරිය රජුගේ පාලන සමයේදී ද පෘතුගීසීන් හා කන්ද උඩරට රාජධානිය අතර සතුරුකම් පැවතුනි. එහෙයින් ක්‍රි.ව.1602 ජුනි 2 වන දින දී I වන විමලධර්මසූරිය රජු හා ඕලන්ද සමූහාණ්ඩුව අතර සබඳතා ලන්දේසි ගවේෂක ජෝරිස් වැන් ස්පිල්බර්ගන්ට ආරම්භ කිරීමට අවස්ථාව උදා විය. නමුත් පෘතුගීසීන් 1620 දශකය පුරාම, ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශයේ ඔවුන්ගේ ස්ථාවරය ශක්තිමත් කරගනිමින්, කළුතර, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ සබරගමුවේ බලකොටු ඉදි කරගනිමින් සහ කොළඹ, ගාල්ල සහ මැනික්කඩවර යන බලකොටු වැඩිදියුණු කර ගත්හ.
I වන විමලධර්මසූරිය රජුගෙන් පසු කන්ද උඩරට රාජධානිය
1604 දී I වන විමලධර්මසූරිය රජු මිය ගියේය. සිංහාසනය ඔහුගේ සොහොයුරෙකු වූ සෙනරත් රජුට අයත් විය. ක්‍රි.ව.1635 දී සෙනරත් රජු මිය යන විට ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම පාහේ පෘතුගීසි පාලනය යටතට පත්වී තිබිණ. සෙනරත් රජු ගෙන් පසුව කන්ද උඩරට රාජධානියෙහි පාලනය ලබා ගන්නා ලද්දේ සෙනරත් රජු ගේ පුත් වූ II වන රාජසිංහ රජු විසිනි. කන්ද උඩරට රාජධානියෙහි අවසාන ප්‍රධාන යුදමය ජයග්‍රහණය වූ ක්‍රි.ව.1638 මාර්තු 28 දින ගන්නෝරුවේදී පෘතුගීසීන්ට එරෙහිව පැවැත්වූණු සටන ජය ගන්නා ලද්දේ මෙතුමා විසිනි. ලන්දේසීන් සමඟ එකතුව ක්‍රි.ව. 1656 දි මෙතුමා විසින් පෘතුගීසීන් ලංකාවෙන් සම්පූර්ණයෙන්ම නෙරපා දමන ලදී. නමුත් පෘතුගිසින් යටත් කොට ගෙන සිටි ප්‍රදේශ සහ ඒවාට අමතරවද ලන්දේසීන් විසින් බලහත්කාරයෙන්, සබරගමුවෙහි විශාල කොටසක් මෙන්ම කල්පිටිය, කොට්ටියාර්, මඩකලපුව සහ ත්‍රිකුණාමලය ද අල්ලා ගන්නා ලදී.
කන්ද උඩ රාජධානියට අයත්ව තිබූ නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ සියලුම වරායන් ලන්දේසින් අතට පත් වීම හේතුවෙන් රාජධානියෙහි වෙළඳාම සම්පූර්ණයෙන්ම ලන්දේසින් යටතට පත්විම, මෙකල කන්ද උඩරට රාජධානිය ලැබූ ප්‍රධානම පරාජයයි.
II වන රාජසිංහ රජු ක්‍රි. ව. 1672 දී පමණ ප්‍රංශ ජාතිකයින් සමග සම්මුතියකට එළැඹීමට තැත් දැරුවත් ලන්දේසින් එයට විරුද්ධව මැදිහත් වීම නිසා එය වැළකී ගියේය.
කන්ද උඩරට රාජධානියෙහි සිංහල රාජ වංශය අවසන් වීම
1 වන විමලධර්මසූරිය රජුගෙන් පසුව ඔහුගේ සහෝදරයා වූ සෙනරත් රජුද, ඉන් පසු ව කන්ද උඩරට රාජධානියේ කිරුළට හිමිකම් කියූ කරල්ලියද්ද බණ්ඩාරන්ගේ දියනිය වූද ප්‍රථමව I වන විමලධර්මසූරිය රජුගේ බිසවුන් වූ කුසුමාසන දේවියගේ හා සෙනරත් රජුගේ පුතනුවන් වූ II වන රාජසිංහ රජ කන්ද උඩරට රජු ලෙස කිරුළු පැළඳීය. ඉන්පසුව II වන රාජසිංහ රජුගේ පුත් II වන විමලධර්මසූරිය රජු ද, ඉන්පසු ඔහුගේ පුත් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු කන්ද උඩරට රාජධානියෙහි කිරුළ පැළඳීය. ශ්‍රී ලංකාවේ හෝ කන්ද උඩරට රාජධානියෙහි සිටි අවසාන සිංහල රජු වන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය.
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ ප්‍රධාන බිසව දකුණු ඉන්දියාවේ මදුරෙයි නගරයේ නායක්කර් රාජකීය පවුලේ කුමාරිකාවක් විය. රජුට සිහසුනට පත් කිරිම සදහා ඇයගෙන් දරුවෙකු ලැබුණේ නැත. එම නිසා රජු ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස තම ප්‍රධාන බිසවගේ සහෝදරයා නම් කළේය (ශ්‍රී විජය රාජසිංහ රජු), එමගින් සිංහලේ රාජාවලිය අවසන් වන තුරු සිංහල සිහසුන නායක්කර් වංශිකයන් අතට පත් විය. ඉන්පසු ඉන්දියාවෙහි මදුරෙයි නගරයේ සිට පැමිණි ශ්‍රී විජය රාජසිංහ රජුගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා කීර්ති ශ්‍රී රාජසිංහ යනුවෙන් කන්ද උඩරට රජ විය. පසුව ඔහු සමග කුඩාකලදී මදුරෙයි නගරයෙන් ලංකාවට පැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ සොහොයුරා ශ්‍රී රාජාධි රාජසිංහ නමින් කන්ද උඩරට රාජධානියෙහි සිහසුනට පත් විය. ඔහුටද දරුවන් නොමැති වූ අතර අනුප්‍රාප්තිකයෙකු ද නම් නොකර මිය ගිය හෙයින්, කන්ද උඩරට රාජධානියෙහි මහ අදිකාරම් වූ පිළිමතලාවේ මහ අදිකාරම්ගේ අනුග්‍රහයෙන් ශ්‍රී රාජාධි රාජසිංහ රජුගේ බෑණනුවන් කෙනකු වූ කන්නසාමි යන කුමරු ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ලෙස කන්ද උඩරට රාජධානියෙහි පාලකයා ලෙස පත් විය. මෙතුමා ශ්‍රී ලංකාවේ සිටි අවසාන රජුය.