ජීවිතයේ අවශ්‍යතා

මගේ ජීවිත තත්වවිචාරය - 3

0
516

ජීවිතය, අප ගේ තරාතිරම කුමක් වුවත්, අපගේ සමාජ මට්ටම කුමක් වුවත්, එනම් අප ජීවත් වෙන භෞතික තලය කුමක් වුවත් අප සැමගේම ජීවිත ගෙවි යන්නේ එකම ආකාරයකටය. එනම් ආරම්භ වන්නේ ද ගෙවී යන්නේ ද අවසාන වන්නේ ද එකම ආකාරයකට ය. 

අප පැවිදි නොවී සමාජමය ජීවිතයක් ගෙවන්නේ නම් ඉහත සඳහන් ප්‍රකාශය නිවැරදි බව ලෝකය හොඳින් නිරීක්ෂණය කරන්නෙකුට අවබෝධ වනු ඇත.

අපට අසන්නට ලැබෙන දකින්නට ලැබෙන පුද්ගලයින්ගේ ජීවිත අධ්‍යනය කර බලන්න. ඒ සෑම ජීවිතයක්ම එකම ආකාරයට ආරම්භ වි එකම ආකාරයකට පැවත එකම ආකාරයට අවසන් වී ගොස් ඇත. මහා ධන කුවේරයෙක්ව උපන් තැනැත්තාගේද, සාමාන්‍ය පුද්ගලයෙකු  ලෙස උපන් තැනැත්තාගේද, ජීවිතය සම වුවත්, ඔවුන් ජීවිතය ගැන සිතන ආකාරය වෙනස් වූ හෙයින් ඉර හඳ තරු අල්ලා ගැනීමට ගොස් මානසිකව කායිකව විඩාපත් වී ශාරීරිකව දිරාපත්වී ජීවිතය අවසන් කරන අයුරු දැක ගැනීමට හැකි ය. මහා ධන කුවේරයන් මහා ධන සම්පත් ඉතිරි කොට ගිය පසු එය පරම්පරා දෙකකට අඩු කාලයක දී නැති වී ගිය අයුරු අප අසා ඇත.

මගේ අදහස නම් අපට ලැබී ඇති මේ ජීවිතය, සරලව ගෙවමින්, එය විඳවන්නේ නොමැතිව එය විඳිමින් අවසන් කර දැමිය යුතු බවයි. 

ජීවිතය හොඳින් අධ්‍යයනය කිරීමේ දී මට නම් හැඟෙන්නේ අප ජීවිතයේ දී වගකීම් ලෙස ඉටු කළ යුතු වන්නේ කරුණු දහයක් පමණක් බවයි. 

එ නම්;

  1. තමන් සඳහා ස්ථීර මාසික ආදායමක්
  2. ස්ථිර මාසික ආදායමක් සහිත සහකරුවෙකු හෝ සහකාරියක්
  3. පර්චස් 10 ක පමණ ඉඩමක්
  4. එම ඉඩමේහි නිදන කාමර තුනක් සහිත නිවසක්
  5. වාහනයක්
  6. දුවා දරුවන් (දෙකයි) හට අධ්‍යාපන ලබා දීම
  7. බැංකුවෙහි ඉතිරි කරන ලද සෑහෙන මුදලක්
  8. ප්‍රවේණිගතව අයිතිවන සම්පත්
  9. විශ්‍රාම ගිය පසු කල හැකි ක්‍රියාවක් ප්‍රගුණ කිරීම
  10. තම දෙමව්පියන්ට සැලකීම
  • තමන් සඳහා ස්ථීර මාසික ආදායමක්

මේ සඳහා යම් වෘත්තීයක  නිපුණතාවයක්  ලබා එම නිපුණතාවය යොදා ගනිමින් මුදල් උපයන රැකියවක් කළ යුතුයි. එම නිපුණතාවය මගින් මුදල් ඉපයිය නොහැකි වූ කාලයක ප්‍රයෝජනයට ගැනීම සඳහා යම් මුදලක් ඉතිරි කොට එය එයින් මුදල් ලැබෙන පරිදි ආයෝජනය කළ යුතු යි. (ස්ථීර තැන්පතුවක දමා එයින් ලැබෙන පොලිය ලබා ගැනීම හෝ, රැකියාවක නම් ඊපිෆ්, ඊටීෆ්, ග්‍රැටිවිටි හෝ විශ්‍රාම වැටුප වැනි)

  • ස්ථිර මාසික ආදායමක් සහිත සහකරුවෙකු හෝ සහකාරියක් 

තමා හා සමාන සමාජීය, මානසික/අධ්‍යාපනික හා ආර්ථික තත්වයක ඇති සහකරුවෙකු හෝ සහකාරියක හා සම්බන්ධ විය යුතුයි. ඇය/ඔහු ද ඉහත අංක 1 හි සඳහන් කරුණු ක්‍රියාවට නැංවිය යුතුයි.

  • පර්චස් 10 ක පමණ ඉඩමක්
නිදන කාමර තුනක් සහිත නිවසක්

විවාහ වීමෙන් පසුව දෙදෙනාගේම ජීවිත අරමුණු හා ඉලක්කයන් ජය ගැනීමට පහසු, සුදුසු ස්ථානයකින් තම ආදායමට දැරිය හැකි පරිදි පර්චස් 10 ක පමණ නිරවුල් ඉඩමක් නිවසක් සාදා ගැනීම සඳහා ලබා ගත යුතුය.

  •  එම ඉඩමේහි නිදන කාමර තුනක් සහිත නිවසක්

යුවතිපති දෙදෙනාගේම අදහස් සංයෝජනයෙන් සාදන ලද නිදන කාමර තුනක් සහිත ඉතා සරළ නිවසක් සෑදිය යුතු අතර එහි දී විශේෂයෙන් සැලකිලිමත් විය යුත්තේ වයෝවෘද්ධ වූ පසු කිසිවෙකුගේ සහයක්  නොමැතිව එහි පහසුවෙන් ජීවත් විය හැකි වීමයි. එසේම මෙම නිවස සංකීර්ණ නොවිය යුතු අතර එය යම් අයෙකුට අපහසු තාවයකින් තොරව ඉදිරිපත් කිරීමට යෝග්‍ය (Presentable) වීම පමණක් සෑහේ.

  • වාහනයක්
වාහනයක්

තමන්ගේ අවශ්‍යතාවයට සරිලන වාහනයක් මිල දී ගත යුතු අතර අනවශ්‍ය අංගෝපාංගයන් සහිත වාහන වලින් බැහැර විය යුතුය. එ නම් වැඩි වශයෙන් ගමන් කරන්නේ නගරබදව නම් නගරබද ප්‍රවාහනයන් සඳහා නිපදවන ලද  වාහනයක් මිල දී ගත යුතු අතර උදාහරණයක් ලෙස ඒ සඳහා සහරා කාන්තාරයේ ගමන් කිරීමට නිපදවන ලද වාහන මිලදී නොගත යුතුය. එවිට කලාතුරකින් යෙදෙන දුර ගමන් සඳහා එයට සුදුසු වාහනයක් කුලී පදනම මත ලබා ගත හැකි ය.

  • දුවා දරුවන් (දෙකයි) හට අධ්‍යාපන ලබා දීම

දරුවන් හට අධ්‍යාපනය ලබා දීමේදී තම ජීවිත රටාවට බාධා නොවන ආකාරයට සහ තම ආර්ථිකමය තත්ත්වයට දැරිය හැකි පරිදි සුදුසු පාසලකට ඇතුළත් කොට උනන්දුවෙන් ඒ සඳහා කැපවී ඔවුනට අනාගතයට අවශ්‍ය වන නිපුණතාවයන් වර්ධනය කර ගැනීම සඳහා සුදුසු අධ්‍යාපනයක් ලබා දිය යුතුය. මෙහිදී සමාජයේ ඇති තරගයන් වෙතින් අනිවාර්යයෙන්ම බැහැර විය යුතු අතර සලකා බැලිය යුතු වන්නේ, තම දරුවන්ගේ මානසික, කායික හා අනාගත සුභ සිද්ධිය පමණි. එසේම මා මේ ලිපියේ ඉදිරිපත් කොට ඇති ආකාරයට ඉතා සරල වූ ජීවිතයක් ගෙන යාමට අවශ්‍ය භෞතික සම්පත් සපයා ගැනීමේ හැකියාව පමණි. ඊට අමතරව යම් අවශ්‍යතාවක් ඇති වුවහොත් එම දරුවන් නිසි වයසට පත් වූ පසු එය සකසා සපයා ගත යුතුය. අතීතයේ දී මෙන් නොව ඒ සඳහා දැනට ලෝකයේ  හා රටෙහි  සෑහෙන පමණ අවස්ථාවන් ඇත. උදාහරණයක් ලෙස අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත් විය යුතු වන්නේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ තමන්ට කැමති විෂයන් වලින් කිරීමට අවශ්‍ය සුදුසු කම් ලැබෙන පරිදි පමණි. එසේම අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සමත් විය යුතු වන්නේ තමන්ට අවශ්‍ය විෂයයන් හැදෑරීමට තමන් කැමති විශ්ව විද්‍යාලයකට ඇතුලත් වීමට සුදුසුකම් සපුරා ගැනීම සඳහා පමණි. විශ්ව විද්‍යාලයේ දී අනාගතයට අවශ්‍ය වන නිපුණතාවන් වර්ධනය කරගැනීම සඳහා වූ පාඨමාලාවන් හැදෑරිය යුතුය. ඉන් පසුව සුදුසු රැකියාවකට යා යුතු ය. රැකියාවකට ගිය තැන් පටන් දරුවන් තමන්ගේ ජීවිතයේ වගකීම දැරිය යුතු ය.

  • බැංකුවෙහි ඉතිරි කරන ලද සෑහෙන මුදලක්

වයෝවෘද්ධ වු පසු අසනීප තත්ත්වයකට ගැනීම සඳහා හෝ හදිසි අවස්ථාවකදී යොදා ගැනීම සඳහා සෑහෙන මුදලක් බැංකුවක තැන්පත් කොට තිබිය යුතු අතර එය යොදා ගත යුත්තේ හදිසි අවස්ථාවන් වල දී පමණි. මෙය විශාල මුදලක් නොවිය යුතු අතර තමාගේ ජීවන රටාව අනුව තමන්ට යෙදෙතැයි සිතන කරදරයකදි භාවිතා කර ගැනීම සඳහා යොදා ගත යුතු ය. උදාහරණයක් ලෙස අසනීප තත්වයකදී අවශ්‍ය වන මුදල තීරණය වන්නේ තමා රජයේ රෝහලක ප්‍රතිකාර ගන්නවා ද එසේ නැතහොත් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගන්නවාද යන කරුණු මතය. රජයේ රෝහලක ප්‍රතිකාර ගන්නවා නම් ඒ සඳහා වැය වන මුදල සාපේක්ෂව අඩු අගයක් ගනී.

  • ප්‍රවේණිගතව අයිතිවන සම්පත්

අප මිය යාමෙන් පසු ව අප වෙත ඉතිරව ඇති සියලුම හෞතික සම්පත් ඇස්තමේන්තු කර දරුවන් මාර්ගයන් මුණුබුරන් (හතරයි) හට සමසේ ලැබීමට පිළිවෙලක් සැකසිය යුතුයි. මෙසේ ලබා දීමට හේතු වන්නේ අප විසින් ඉතිරි කරන ලද ඉහත භෞතික සම්පත් අපට අත් හැරිය හැකි වන්නේ අප මිය ගිය පසුව වීමය. එනම් මාගේ ඇස්තමේන්තුව අනුව අපට අවුරුදු 80 වූ පසුවය. එවිට අපගේ දරුවන්ගේ වයස අවුරුදු 50 ක් පමණද අපගේ මුනුබුරන්ගේ වයස අවුරුදු 20 ක් පමණ ද වී තිබෙනු ඇත. මෙම අවධිය වන විට අපගේ දරුවන් මෙම සටහනේ ආකාරයට ක්‍රියා කර ඇත්නම් ඔවුන්ට වෙනත් අයෙකුගේ භෞතික සම්පත්වල අවශ්‍යතාවයක් නොමැති වීමය. නමුත් අවුරුදු 20 වයස ඇති මුනුබුරන් හට ජීවිතය පටන් ගැනීම සඳහා භෞතික සම්පත් වලින් ආධාරයක් ලැබීම සුදුසුය. මෙහි දී නම් අපට වයස අවුරුදු 80 ක් වන විට ඉතිරිව තිබෙනුයේ. පර්චස් 10 ක පමණ ඉඩමක්, අවුරුදු 50 ක පමණ පැරණි නිවසක්, පැරණි වාහනයක් හා බැංකුවේ සුළු මුදලකුත්ය.

  • විශ්‍රාම ගිය පසු කල හැකි ක්‍රියාවක් ප්‍රගුණ කිරීම

මාගේ අදහස අනුව වයස අවුරුදු 60 පිරුණු පසු අප සියලුම දේ වලින් විශ්‍රාම ගෙන විශ්‍රාම සුවයෙන් ජීවිතය රැගෙන යා යුතු ය. නැතහොත් පරම්පරා දෙකක් අතර ඇති පරතරය හේතුවෙන් අදහස් නොගැලපීම නිසාද, අප දරුවන්ගේ ඇති ඇති කාර්යබහුල තාවයන් නිසා ද ඔවුන් සමඟ සංයෝජනයට බාධා ඇති වේ. එසේම අපගේ පරම්පරාවේ අයවලුන් ක්‍රම ක්‍රමයෙන් ලොව හැර යාමට පටන් ගන්නා නිසා ද, ඔවුන්ගේ අසනීප තත්වයන් හා ඔවුන්ට නිරන්තරයෙන් අප සමඟ සංයෝජනය වීමට නොහැකි නිසා ද මෙම වකවානුවේ දී කාන්සිය හා පාළුව දැනීමට පටන් ගනු ඇත. එයින් තමන්ට සුදුසු, තමන්ට කැමති, තමන්ට විනෝදාස්වාදය ලබා දෙන, හැකි නම් ලෝකයාට එයින් යහපතක් සිදුවන, ක්‍රියාවක නිරත වීම යෙහෙකි. මෙම ක්‍රියාවන් හි ලක්ෂණ විය යුත්තේ ඕනෑම අවස්ථාවක ඒවා අතහැර දැමීමට හැකි වීමත්, තමා කැමති කාලයක් ඒවා කරගෙන යෑමට හැකි වීමත්ය. උදාහරණයක් ලෙස කාන්තාවක් නම් මැහුම් කටයුතු වල යෙදීම, පිරිමියෙකු නම් සරල ලෙස කොටස් වෙළෙඳ පොළට සම්බන්ධ වීම, දැනට ඇති පහසුකම් යටතේ කොටස් වෙළෙඳ පොළට සම්බන්ධ වීම අන්තර්ජාලය මගින් නිවසේ සිටම සිදු කළ හැකි ය.

  • තම දෙමව්පියන්ට සැලකීම

දෙමව්පියන්ට සැලකීම ඔවුන් ජීවත්ව සිටින තාක්කල් කළ යුතු අතර තමනට හැකි පමණින් දෙමව්පියන් ගේ මානසික සහ කායික සුබ සිද්ධිය සඳහා ක්‍රියා කළ යුතුය. සියලුම දෙනාට ම මෙයින් ලැබෙන ආනිසංස තේරුම් යන හෙයින් දෙමව්පියන්ට සැලකීම සම්බන්ධව දිගින් දිගට ම විස්තර කිරීම අවශ්‍ය නොවේ යයි සිතමි.

LEAVE A REPLY

Please enter your comment!
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න