අපේ රටේ ස්නායු පද්ධතිය හා භික්ෂූන් වහන්සේලා

0
819

ස්නායු පද්ධතියට අයත් කාර්යය වන්නේ බාහිරින් සංඥාවන් ලබා ගෙන ශරීර අභ්‍යන්තරයේ දී ඒවා විඤ්ඤාණයෙන් එසේ එසේ නැතහොත්  මනසින් විශ්ලේෂණය කර ඒවාට ප්‍රතික්‍රියා දැක්වීම හෝ ක්‍රියා කිරීම යි. අප රටේ ස්නායු පද්ධතිය ලෙස මා සලකන්නේ අප රටේ වැඩ වාසය කරන්නා වූ මහා සංඝ රත්නයයි. පිටතින් අපට ලැබෙන සංඥාවන් බෞද්ධ දර්ශනයට අනුව විශ්ලේෂණය කර අධ්‍යාත්මික හා භෞතික ගුණ දියුනු කර ගනිමින් රටත් ජාතියත් ආගමත් ආරක්ෂාවන ආකාරයට ක්‍රියා කිරීමට මාර්ගය පහදා දෙන්නේ අප රටේ මහා සංඝ රත්නයයි.

Buddhist population in Sri Lanka (2012 Census) https://en.wikipedia.org/wiki/Buddhism_in_Sri_Lanka

ලංකාවේ පළාත් 9 ක්ද, ඒ පළාත් 9 ඇතුළත දිස්ත්‍රික්ක 25 ක්ද, ඒ දිස්ත්‍රික්ක 25 ඇතුලත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 331 ක්ද ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 331 ක ඇතුළත ග්‍රාම සේවා නිලධාරී කොට්ඨාස 14,022 ක්ද තියෙනවා. උතුර සහ නැගෙනහිර පළාත් හැරුණ විට අනෙක් සෑම පළාතකම සෑම ග්‍රාමසේවා කොට්ඨාශ දෙකකට හෝ තුනකට බෞද්ධ පන්සලක් තියෙනවාමයි. එහෙම ගණන් බැලුවොත් අපිට සාමාන්‍යයෙන් ලංකාව ඇතුලත පන්සල් 5,000 වැඩියෙන් තියෙනවා කියලා නිශ්චය කරන්න පුළුවන්. එක පන්සලක භික්ෂූන් වහන්සේලා දෙනමක් වැඩ වාසය කරනවා කියලා තීරණය කළොත් ලංකාව ඇතුළත අනිවාර්යෙන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේලා 10,000 වැඩිය වැඩ වසනවා කියලා අපට නිගමනයකට එන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මෙම සංඛ්‍යාව මීට වඩා ගොඩක් වැඩි වෙන්න ඕනෑ, මොකද සාමාන්‍යයෙන් එක පන්සලක භික්ෂූන් වහන්සේලා දෙනමකට වඩා වැඩ ඉන්න අවස්ථාවන් වැඩියි. එසේම සාමාන්‍යයෙන් එක් දිස්ත්‍රික්කයකට කිහිපයක්ම තියන පිරිවෙන් වල අධ්‍යාපනය ලබන සාමණේරයන් වහන්සේලා හා භික්ෂූන් වහන්සේලා මේ ගොඩට ගණන් අරන් නැහැ. එසේ වූ විට තමාගේ පරිසරය, ප්‍රදේශය හා රට අධීක්ෂණය කරන ඕනෑම මනුස්සයෙකුට තේරෙන්න ඕන ලංකාවේ භික්ෂූන් වහන්සේලා දළ වශයෙන් 10,000 කට වත් වැඩිපුර වැඩ වසනවා කියලා. මම මේ දත්ත ඉදිරිපත් කළේ  කිසිම මූලාශ්‍රයකට පදනම්ව නොවේ. මට පෙනෙන දේ නිරීක්ෂණය කරලා නිගමනයකට ඇවිත්. කිසියම් පුද්ගලයෙකුට ලංකාවේ භික්ෂූන් වහන්සේලා කී නමක් වැඩ වාසය කරනවාද, වැඩ වාසය කරන්නේ කිනම් ප්‍රදේශයකද, කියලා දැනගන්න අවශ්‍ය නම් පොඩි කැප කිරීමක් කරලා අදාල මූලාශ්‍ර නිරීක්ෂණය කළහොත් හරියටම ඒ සංඛ්‍යාව සම්බන්ධව නිගමනයකට එන්න පුළුවන්. මගේ නම් අදහස එය කොහොමටත් 10,000 වැඩි බවයි.

විකිපීඩියා නිදහස් විශ්වකෝෂයෙහි ලංකාව තුළ පන්සල් 6000 ක් සහ ඒවායෙහි වැඩ වාසය කරන බෞද්ධ භික්ෂූන් වහන්සේලා සංඛ්‍යාව 15,000 ක් සිටින බව පැවසෙනවා. (ක්‍රි.ව. 2012 වර්ෂය වන විට) Buddhism in Sri Lanka https://en.m.wikipedia.org/wiki/Buddhism_in_Sri_Lanka

දැන් අපි බලමු මේ භික්ෂූන් වහන්සේලා 10,000 සම්බන්ධව සඳහන් කළ පමණින්ම අපගේ මනසට එන භික්ෂූන් වහන්සේලා කවුද කියලා. මේකට තියන හොඳම දේ තමයි කොළ කෑල්ලක් ඇරගෙන මේ මනසට එන භික්ෂූන් වහන්සේලාගේ නම් එහි සඳහන් කිරීම. ප්‍රථමයෙන්ම අපේ මනසට එන්නේ ගමේ පන්සලේ නායක භික්ෂූන් වහන්සේ (ලොකු හාමුදුරුවෝ) හා ගමේ පන්සලේ ඉන්න අනෙක් භික්ෂූන් වහන්සේ (පොඩි හාමුදුරුවෝ). ඉන් පසුව ඥාති වෙන භික්ෂූන් වහන්සේ නමක් හෝ දෙනමක්. ඉන් පසුව මතකයට  එන්නේ කුමන භික්ෂූන් වහන්සේ කෙනෙකුගේ නමක්ද? අනිවාර්යෙන්ම දැන් මතකයට එන්නේ මාධ්‍ය මගින් ප්‍රචාරය කොට ප්‍රසිද්ධ කරන ලද භික්ෂූන් වහන්සේලාගේ නම්ය. එවිට එම භික්ෂූන් වහන්සේලා සම්බන්ධව අපගේ මනසට මාධ්‍ය මගින් ඇතුලත් කොට තිබෙන්නේ කුමක්ද? යන්න සලකා බැලීම වටී.

අපි දැකලවත් නැති ජන මාධ්‍ය වලින් පමණක් ශ්‍රවණය කොට හඳුනා ගෙන ඇති එම භික්ෂූන් වහන්සේලා සම්බන්ධව අපගේ මනසේ ඇතුළත් කොට ඇති ප්‍රධාන කරුණු මොනවාද?

මාධ්‍ය මගින් එම භික්ෂූන් වහන්සේලා හඳුන්වන්නේ විනයධර, ධර්මධර, සිල්වත් භික්ෂූන් වහන්සේලා ලෙසද?

එසේ සිල්වත් ධර්මධර විනයධර ලෙස හඳුන්වන භික්ෂූන් වහන්සේලා කී නමක් සම්බන්ධව මාධ්‍යයෙන් ප්‍රකාශ කරනවද?

එසේ නැතහොත් බෞද්ධාගමට වින කරන භික්ෂූන් වහන්සේලා සම්බන්ධව වැඩිපුර මාධ්‍යයෙන් ප්‍රකාශ කරනවද? සාමාන්‍යයෙන් එසේ ශ්‍රී ලංකාවේ බෞද්ධ සාසනයේ අවනතියට ක්‍රියා කරන භික්ෂූන් වහන්සේලා කී නමක් සම්බන්ධව රටේ ජන මාධ්‍ය සොයාගෙන තිබෙනවා ද?

රටේ ජනමාධ්‍ය ප්‍රධානව විකාශනය කරන්නේ බුද්ධාගමේ උන්නතිට ක්‍රියාකරන භික්ෂූන් වහන්සේලා කී නමක් සම්බන්ධවද? එය කොපමණ වතාවක් ද?

ජනමාධ්‍ය මගින් විකාශනය කරන බුද්ධාගමේ අවනතියට ක්‍රියා කරන භික්ෂූන් වහන්සේලා කොපමණ සංඛ්‍යාවක් සිටීද? එය කොපමණ කාලයකට වතාවක් වාර්තා කරනවාද?

ඉහත කරුණු ප්‍රධාන වශයෙන්ද තවත් කරුණුද සැලකීමේදී නිරීක්ෂණය වන්නේ රටේ ප්‍රධාන ජන මාධ්‍ය කෙසේ වෙතත් රටෙහි ජනප්‍රිය අනෙකුත් ජන මාධ්‍යයන් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ පිළිගත් ප්‍රතිපත්තීනට විරුද්ධව ක්‍රියා කරන්නේ යැයි විවේචනයට තුඩුදුන් භික්ෂූන් වහන්සේලා අතලොස්සක් ගෙන ඔවුන්ගේ ක්‍රියාවන් මහජනතාව වෙත නිරන්තරයෙන්ම ඉදිරිපත් කරන බවයි. සාමාන්‍යයෙන් මෙය ඕනෑම අවස්ථාවක දී භික්ෂූන් වහන්සේලා 10  කට වැඩි නොවේය යන්න මගේ නිරීක්ෂණයයි. එනම් රටෙහි වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලාගෙන් ප්‍රතිශතයක් ලෙස ගත් විට 0.1% පමණ ප්‍රමාණයක් ගෙන ආන්දෝලනාත්මකව ඔවුන්ගේ ප්‍රකාශයන් මහජනයා වෙත මුදා හැර එම භික්ෂූන් වහන්සේලාගේත් රටෙහි වැඩ වාසය කරන අනෙකුත් සිල්වත් ධර්මධර විනයධර භික්ෂූන් වහන්සේලාගේත් ඇති පිළිගැනීමට හෙවත් අනන්‍යතාවයට පහර ගැසීමයි.

තවද “හැමදාම දකින කුකුලාගෙ කරමලේ සුදුයි” කියමන සනාථ කරමින් ගමේ පන්සලේ  වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා කොතරම් සිල්වත් ධර්මධර විනයදර වුවද උන් වහන්සේලාගේ සිල්වත්භාවය හා ධර්මධර විනයධර භාවය සම්බන්ධව ගම්වාසීන්ගේ විශාල පැහැදීමක් නැත. තමාගේ ඥාති වන භික්ෂූන් වහන්සේලා සම්බන්ධවද ඇත්තේද මෙවැනි මතයකි.

ඉහත කරුණු කිහිපය සැලකිල්ලට ගත් විට මහජනතාව අතර මානසිකව පැන නගිනුයේ “දැන් ඉතින් හරියට බණ ටිකක් වත් අහගන්න හරි හමං හාමුදුරුවෝ කෙනෙක්වත් නෑනේ” යන මතයයි. එවිට නිවැරදිව බණ දේශනා කිරීමට හැකියාව ඇති ස්වාමීන් වහන්සේ කෙනෙකු නැති බව සිතමින් අසන සත්‍ය වූ බෞද්ධ දේශනාවන් සම්බන්ධවද විචිකිච්චාවක් ඔවුන් තුළ ඇති වේ. මෙසේ විවේචනයන්ට භාජන වූ භික්ෂූන් වහන්සේලා පමණක් ගෙනහැර  දැක්වීමෙන් සිදුවන්නේ ශ්‍රී ලංකාව තුළ තිබෙන බෞද්ධ සාසනයට ඇති අනන්‍යතාවය විනාශවීමය.

නමුත් මෙසේ විවේචනයට භාජනය වී ඇත්තේ රටේ වැඩ වැඩ වාසය කරන්නා වූ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් දස නමක් හෝ පහළොස් නමක් පමණක් බවත්, එයින් රටේ වැඩ වාසය කරන්නා වූ මහා සඟ පරපුර සම්බන්ධව නිගමනයකට ආ නොහැකි බවත් වැටහෙන්නේ ඉතා අතළොස්සකට පමණි. අනෙක් බහුතරයට සිදුවන්නේ විවේචනයට තුඩුදුන්  භික්ෂූන් වහන්සේලා දහ දොළොස් නමකගේ ක්‍රියාපටිපාටියන් හුවාදැක්වීම නිසා මුළු මහත් සංඝ සමාජය හා බෞද්ධ දර්ශනය සම්බන්ධව කලකිරී රටේ ඇති පන්සල් වලින් ඈත් වීමයි.

මා මුලදී සඳහන් කළාක් මෙන් රටේ පරිපාලනය ව්‍යුහය හා සමාන ම ව්‍යුහයක් ශ්‍රී ලංකාවේ සංඝ සමාජයට ඇත. එනම් මිලියන 21 පමණ වූ රටේ ජනගහනයෙන් සියයට හැත්තෑවක පමණ ප්‍රතිශතයක් වූ එනම් මිලියන 14 (ලක්ෂ 140) පමණ වූ බෞද්ධ ජනතාව (Sri Lanka https://en.m.wikipedia.org/wiki/Sri_Lanka) සියලුම දෙනා රටේ තියෙන කිසියම් හෝ පන්සලකට සම්බන්ධ වේ. ඔවුන්ගෙන් සියලුම දෙනාහට ජීවිතයේ කිසියම් හෝ අවස්ථාවක දී භික්ෂූන් වහන්සේ නමකගේ අවශ්‍යතාවය ඇතිවේ. එහෙයින් ආධ්‍යාත්මික වර්ධනය කෙසේ වෙතත් භෞතික වර්ධනය සඳහා භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ අවශ්‍යතාවය ඇති බැවින් පන්සලත් භික්ෂූන් වහන්සේත් සමග මේ සියලුම දෙනා සම්බන්ධතාවයන් පැවැත්විය යුතුමය. එනම් භික්ෂූන් වහන්සේ හා එම පුද්ගලයන් අතර සම්බන්ධතාව ආරක්ෂා කළ ගත යුතුමය.

එවිට රට ආණ්ඩු කරන ආණ්ඩුව, රජය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුව වැනි ආයතන වලට සමාන හෝ වැඩි බලයක් පන්සල ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා අත මේ රටේ ඇත.

රටේ මහා සංඝරත්නය සහ රට වැසියා ගෙන් බහුතරය වූ බෞද්ධ ජනතාව විරසක කොට ඈත් කිරීම මගින් රටේ ජනතාවට තමන්ට පිටතින් ලැබෙන සංඥාවන් බෞද්ධ දර්ශනයට අනුව විශ්ලේෂණය කර සවිඥානිකව ක්‍රියා කිරීමට නොහැකි තත්ත්වයකට පත් වේ. එවිට රටේ බහුතර ජනයා ක්‍රියා කරනුයේ වෙනත් දර්ශනයන්ට අනුවය. මෙමගින් සමහර කණ්ඩායම් වලට වාසි දායක තත්වයන් ඇති වේ.

දැන්, මෙම ජනප්‍රිය ජන මාධ්‍ය වලින් විනාශ කරන්නේ කුමක් දැයි අපට වැටහිය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න