කන්ද උඩරට ගිවිසුම අවස්ථානුරූප ද?

කන්ද උඩරට රාජධානියෙහි සංක්ෂිප්ත ඉතිහාසය - 4

(විකිපීඩියා නිදහස් විශ්වකෝෂය ඇසුරෙන් සකසන ලදී)

කන්ද උඩරට රාජධානියෙහි ප්‍රාදේශීය නායකයින් හා බ්‍රිතාන්‍යයන් ක්‍රි.ව.1815 මාර්තු 02 හෝ 04 යන දිනකදී උඩරට ගිවිසුම අත්සන් කරන ලදී. එයින් අවුරුදු 2300 ක් පමණ ස්වාධීනව තිබූ ශ්‍රී ලංකා රාජ්‍යය පරිපාලනමය වශයෙන් බ්‍රිතාන්‍යයන්ගේ ආරක්ෂිත රාජ්‍යයක් බවට පත් විය. අවුරුදු 310 ක් පමණ පෘතුගීසි ලන්දේසි හා ඉංග්‍රීසින්ට ප්‍රතිරෝධ දක්වමින් ඔවුන්ගේ ආක්‍රමණයන් වළක්වා ගනිමින් ස්වාධීනව තිබූ කන්ද උඩරට රාජ්‍යයේද පරිපාලනමය ස්වාධීනත්වය මෙම ගිවිසුම මගින් අහෝසි වී යන ලදී. 

උඩරට ගිවිසුමට අත්සන් කරන ලද කණ්ඩායමෙන් කොටසක් https://en.wikipedia.org/wiki/Kandyan_Convention

කන්ද උඩරට ප්‍රාදේශීය නායකයින් බ්‍රිතාන්‍යයන් සමඟ ගිවිසුම් ගතව රටේ පරිපාලනය බ්‍රිතාන්‍යයන්ට භාර දීම සම්බන්ධව සාකච්ඡා කිරීම මෙම ලිපියෙහි අරමුණයි.

කන්ද උඩරට රාජධානියෙහි රජු ප්‍රතික්ෂේප වීම

I වන විමලධර්මසූරිය රජුගේන් පසුව ඔහුගේ සහෝදර සෙනරත් රජු ද, ඉන්පසුව සෙනරත් රජුගේ පුත් II වන රාජසිංහ රජු ද, ඉන් පසු ව II වන රාජසිංහ රජුගේ පුත් II වන විමලධර්මසූරිය රජු ද, ඉන්පසුව II වන විමලධර්මසූරිය රජුගේ පුත් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුද කන්ද උඩරට රාජධානියෙහි රජ විය. වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුට සුදුසු බිසවක් ශ්‍රී ලංකාද්වීපයේන් සොයාගත නොහැකි වූ නිසා දකුණු ඉන්දියාවේ මදුරෙයිපුර අගනගරයවූ නායක්කාර රාජධානියෙන් බිසවක් කැටුව එන ලදී. නමුත් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුට ඔහුගෙන් පසුව රජකම සඳහා අනුප්‍රාප්තිකයෙකු නොවීය.

වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගෙන් පසුව ඔහුගේ දකුණු ඉන්දියානු නායක්කාර් ගෘහයට අයත් ප්‍රධාන බිසවගේ සහෝදරයා වූ ශ්‍රී විජය රාජසිංහ රජු ද, ඉන්පසුව ශ්‍රී විජය රාජසිංහ රජුගේ දකුණු ඉන්දියානු නායක්කාර්  ගෘහයට අයත් බිරිඳගේ සහෝදරයා වූ කීර්ති ශ්‍රී රාජසිංහ රජු ද, ඉන්පසුව කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ මදුරෙයි සිට පැමිණි සහෝදරයා ශ්‍රී රාජාධි රාජසිංහ රජු ලෙස ද, ඉන්පසුව ශ්‍රී රාජාධි රාජසිංහ රජුගේ බෑණනුවන් කෙනකු වූ කන්නසාමි නැමති කුමරා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ලෙසද කන්ද උඩරට රජ විය.

දකුණු ඉන්දියාවේ මදුරෙයිපුර හා තිරුචිරපල්ලි අගනගර කරගත් නායක්කාර් රාජධානිය
(ක්‍රි.ව.1506 – ක්‍රි.ව. 1736) https://en.wikipedia.org/wiki/Madurai_Nayak_dynasty

කන්ද උඩරට රාජධානියෙහි අවසාන සිංහල රජු වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු ට අනුප්‍රාප්තිකයෙකු නොවීම හේතුවෙන් කන්ද උඩරට සිංහල කිරීටය දකුණු ඉන්දීය නායක්කර් වංශික දෙමළ හා තෙළිඟු බස කතා කරන හින්දු භක්තික කුමරෙකුට පැවරුණු ආකාරය ඉහත කරුණු වලින් නිරීක්ෂණය වේ.

ඒ වන විට කන්ද උඩරට රාජධානියෙහි සිටි අමාත්‍ය මණ්ඩලයේ මහ අදිකාරම් සහ අදිකාරම්වරුන්ද, රාජධානියෙහි ප්‍රදේශයන් පාලනය කල දිසාවේවරුන්ද, ඔවුන් යටතේ සිටි කෝරාලේ හෙවත් රටේ මහත්වරු සහ ඊට පහළින් සිටි සුළු මුලාදෑනීන්වරුන්ද, රාජධානියෙහි වූ බහුතර ජනතාවද, සිංහල බෞද්ධ වූ අවස්ථාවක රජු වූයේ, දකුණු ඉන්දීය සම්භවයක් ඇති, දෙමළ හා තෙළිඟු බස කතා කරන, හින්දු භක්තික, රාජධානියෙහි සාමාන්‍ය ජනයාට ඉඳුරාම සම්බන්ධයක් නොමැති හේතුවෙන් රටෙහි මහජනයාගේ චාරිත්‍ර වාරිත්‍ර හා සම්ප්‍රදායන් පිළිබඳව අල්ප දැනුමක් ඇති නායක්කර් වංශික රජ කෙනෙකි.

රටේ පවත්නා චාරිත්‍ර වාරිත්‍ර හා සම්ප්‍රදායන් පිළිබඳව තිබූ අල්ප දැනුම හේතුවෙන් මෙම නායක්කාර් ගෘහයෙහි සියලුම රජවරුන් හට රාජධානියෙහි අභ්යන්තරව හටගත් කැරලි වලට මුහුන දීමට සිදුවිය.

අවසාන කාලයේ දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ හැසිරීම එනම් තමාට රජවීමට උපකාර කල ‍රටේ මහා අධිකාරම මරා දැමීම, ඇහැලේපොල දිසාවගේ ලදරු වියෙහි පසු වූ දරුවන්ද බිරිඳද මරා දැමීම, පන්සල් විහාර  වලට අයත් දේපළ බලහත්කාරයෙන් පවරා ගැනීම වැනි ක්‍රියා නිසා රටේ සිංහල නායකයින්ද, සාමාන්‍ය රට වැසියන්ද රජුව දැඩි පිළිකුලෙන් ප්‍රතික්ෂේප කලහ.

ප්‍රබල ආක්‍රමණිකයකුගේ පැමිණීම

ක්‍රි.ව. 1505 දි පෘතුගීසීන් ශ්‍රී ලංකාවට පැමිණියහ. මේවන විටද ඔවුන්ගේ සන්නද්ධ නාවික බල ඇණි හතක් (Fleet of ships/Armadas) ඉන්දියානු සාගරයේ ඉන්දියානු උප මහද්වීපයේ ආසන්නයට පැමිණ තිබූ අතර හත්වන බලඇණියට පමණක් අඩි 400 ට වඩා දිගු වූ යුධ නැව් 11 ක්ද කුඩා නැව් 4 ක්ද හොඳින් හැසිරවිය හැකි තවත් කුඩා ප්‍රමාණයේ නැව් (Caravels) 6 ක්ද ඇතුළත් විය. තවද මෙම සන්නද්ධ නාවික බලඇණියේ හි සන්නද්ධ පුද්ගලයන් 1500ක් හා සේවක මඬුල්ල 1000 පමණ වූ අතර ඔවුන් කාලතුවක්කු වලින් සහ අත් තුවක්කු වලින් සමන්විත වූහ. මෙම පෘතුගීසීන් ශ්‍රී ලංකාද්වීපයේ වෙරළබඩ කලාපය ආක්‍රමණය කොට අල්ලා ගන්නා ලදී. ඉන් අනතුරුව ඔවුන් දැඩි ආරක්ෂිත බලකොටු වෙරලබඩ තිරයේ මර්මස්ථාන වල ඉදි කළහ. මෙම ආරක්ෂක බලකොටු වල සිට ඔවුන් රට මධ්‍යම ප්‍රදේශය ආක්‍රමණය කළ අතර එම භූමිය අල්ලා සිටීමට නොහැකි වූ විට රටේ මධ්‍යම ප්‍රදේශයන් කොල්ලකා ඔවුන් නැවත මෙම බලකොටු තුලට පසු බැස දේශීය නිෂ්පාදිත ද්‍රව්‍ය ලබාගෙන තම රටට යැවූහ. තමන්ට ඇති බලවත් නාවික බලය භාවිත කරමින් මුහුදු මාර්ගය ඔස්සේ පෘතුගීසීන් තම මවුරට වූ පෘතුගාලය සමඟ සම්බන්ධතා පවත්වා ගත් හෙයින් පෘතුගීසි මෙරටින් තුරන් කිරීම ඉතාම අසීරු කාරණයක් විය.

ක්‍රි.ව. 1638 මැයි 18 වන දින නැව් 5 කින් පැමිණි සන්නද්ධ ලන්දේසීන් 800 දෙනෙකු හා එකල කන්ද උඩරට රජු වූ II වන රාජසිංහ රජුගේ සිංහල හමුදාව පෘතුගීසීන් යටතේ වූ  මඩකලපුව බලකොටුව අල්ලා ගත්හ. පසුව ලන්දේසි නාවික හා පාබල හමුදා  ශ්‍රී ලංකාවේ පෘතුගීසීන්ට යටත්ව තිබූ සියලු ප්‍රදේශ සහ බලකොටු යටත් කොට ඒවායෙහි තම බලය පතුරුවා ගත්හ.

ක්‍රි. ව. 1796 පෙබරවාරි මසදී ශ්‍රී ලංකාවේ සිටි ලන්දේසීන් ඉංග්‍රීසීන්ට යටත් වූහ. මෙහිදීද ලන්දේසීන් විසින් පාලනය කරන ලද ශ්‍රී ලංකාවේ සියලු ප්‍රදේශ සහ සියලු බලකොටු ඉංග්‍රීසීන් යටත් කොට ගත්හ. ඉංග්‍රීසීන් වෙත බලවත් නාවික හමුදාවක් වූ අතර ක්‍රි. ව. 1809 වන විට ඉංග්‍රීසීන් සතුව විශාල නැව් 113 ක්ද, යුද නැව් 596 ක්ද, (මෙම සංඛ්‍යාව එකල ලෝකයේ තිබූ සියලුම යුද නැව් සංඛ්‍යාවෙන් හරි අඩකි) තිබූ අතර නාවික සෙබළු 16,000 හා යුද සෙබළු 40,000 වූහ.

තම මවු රටේ සිට සැතපුම් දහස් ගණනක දුරකදී විශාල සටන් වලට මුහුණ දිය හැකි නාවික හමුදාවක් සතු වූ හා නවීන අවි ආයුධ වලින් සමන්විත වූ වෘත්තීය හමුදාවන් වලින් සමන්විත, සම්පත් වලින් පොහොසත් රටවල් තුනක් ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශයන්  එකක් පසුපස එකක් ලෙස ආක්‍රමණය කොට කන්ද උඩරට රාජධානිය සියලු දිසාවන්ගෙන් වට කොට දැඩි තර්ජනයක් එල්ල කරන ලදී.

රාජධානිහි වූ දුර්වල හමුදාව

කන්ද උඩරට රාජධානියට වූයේ රජුගේ ආරක්ෂාව සඳහා වූ භට පිරිස් ප්‍රමාණය හා රටෙහි වූ මර්මස්ථාන  ආරක්ෂා කිරීමට යොදවා සිටි  තවත් සුළු භට පිරිස් ප්‍රමාණයක් පමණි. රජු විශාල වෘත්තීය යුධ හමුදාවක් නඩත්තු නොකළ අතර, රටේ ආරක්ෂාවට අවශ්‍ය වූ විට කෘෂි කර්මාන්තයෙහි යෙදුණු රටවැසියන්ගෙන් කොටසක් යුධ හමුදාව ලෙස යොදවන ලදී. කන්ද උඩරට රාජ්‍යයට නාවික හමුදාවක් ඇත්තේ ම නොවීය. 

රටෙහි වූ භූමිය ඉතා දක්ෂ ලෙස කළමනාකරණය කර ගත් හෙයින් කන්ද උඩරට යුද හමුදාවට විදේශීය සතුරු ආක්‍රමණය කොතරම් ප්‍රබල වුවද යම් තරමකට එය දරා ගැනීමේ හැකියාවක් තිබිණ. ක්‍රි. ව. 1505 සිට ක්‍රි.ව. 1815 දක්වා වූ වර්ෂ 310 පමණ කාලයක් ප්‍රබල සතුරා වෙත යටත් නොවී තම  භූමිය රැක ගැනීමට කන්ද උඩරට හමුදාවෝ සමත් වුවත් සතුරාට සමාන නවීන අවි ආයුධ රහිතව මෙය දිගටම කිරීම ප්‍රායෝගික නොවන බව ඔවුනට පසක් වෙමින් පැවතිණ.

රාජධානිය සියලු දිශාවන්ගෙන් සතුරාගෙන් වටවී තිබිම

පෘතුගීසීන්ගේ, ලන්දේසීන්ගේ හා පසුව ඉංග්‍රීසීන්ගේ මුහුදුබඩ ප්‍රදේශයන් වල ආක්‍රමණයන් අවසන් වන විට කන්ද උඩරට රාජධානිය සම්පූර්ණයෙන්ම විදේශීය සතුරාගෙන් වටවී තිබිණ. මුහුදු මාර්ගයන්ට ඇති සුළු මං පෙත්ද සතුරු ආක්‍රමණයන්ට විවරව තිබිණ. එහෙයින් පසුබැස යාමක් හෝ හිතවත් විදේශීය රටකින් ආධාර ගෙන්වා ගැනීමක් හෝ කල නොහැකි විය. ප්‍රබල විදේශීය සතුරාට එරෙහිව එසේ ආධාර කළ හැකි රටක්ද ශ්‍රී ලංකාව ආසන්නයෙහි නොවීය.

රාජධානියට ඉතා ආසන්න වූ ආක්‍රමණය 

දිගින් දිගටම කන්ද උඩරට රාජධානිය විදේශීය ආක්‍රමණයන්ට මුහුණ දීම හේතුවෙන් ද, බලයේ සිටින රජු කරන ලද අමනෝඥ ක්‍රියාවන් හේතුවෙන් ද රාජධානිය  දුර්වල අවධියක පැවති අතර, දිගින් දිගටම කරන ලද ආක්‍රමණයන් හේතුවෙන් කන්ද උඩරට රාජධානියේහි භූමිය හා එහි තත්ත්වය සම්බන්ධව හොඳ අත්දැකීම් සතුරාට තිබීම හේතුවෙන් ද, සතුරා මෙම අවධිය වන විට යුධමය අතින් ඉතා හොඳින් ශක්තිමත් ව තිබීම හේතුවෙන්ද, කන්ද උඩ රට රාජධානිය වෙත ප්‍රබල ප්‍රහාරාත්මක සතුරු ආක්‍රමණයක් ඉතා ආසන්නව පැවතිණ.

කන්ද උඩරට රාජධානියෙහි නායකයින්ට තිබු විකල්පයන්

යුද්ධයක දී අපට විකල්ප තුනක් ඇත. එනම් ජය ගැනීම, පරාජය වී යටත්වීම හෝ සතුරා සමග සම්මුතියකට පැමිණීම. සතුරා ප්‍රබල නම් සටන් කොට ඔහුව ජයගත නොහැකි නම් සිදුසුම දේ වන්නේ ඔහු සමඟ සටන් කොට පරාජය වී යටත් වීම නොව අපට ඇති සියළු තුරුම්පු යොදාගනිමින් සටන් නොකොට තාවකාලිකව හෝ ඔහු සමග සම්මුතියකට ඒමයි.

මේ ලිපියේ ඉහත සඳහන් කරුණු සලකා බැලීමේදී, රජු ගේ දුර්වල නායකත්වය, දුර්වල සිංහල යුධ හමුදාව, රාජධානියෙහි පවතින දුර්වල වාතාවරණය, සියළු දිශාවන්ගෙන් ප්‍රබල සතුරාගෙන්  රාජධානිය වටවී තිබීම, ඉතා ආසන්න ප්‍රබල සතුරු ආක්‍රමණය, හා අත්දැකීම් සහිත  යුධමය අතින් ප්‍රබල සතුරා, යන කරුණු සැලකිල්ලට ගැනීමේදී සටනකට යාමට වඩා සතුරා සමග සම්මුතියකට ඒම ඉතා යෝග්‍ය බව වැටහේ. එහෙයින් රජු මහජනතාව අතර ප්‍රතික්ෂේප වීම නිසා ඉතිරිව සිටි ප්‍රාදේශීය නායකයින් අවසාන ආක්‍රමණිකයා වූ බ්‍රිතාන්‍යයන් සමඟ කන්ද උඩරට රාජධානියෙහි වැසියන්ටද අවැසි වගන්ති සමග ගිවිසුමකට පැමිණයහ. එය උඩරට ගිවිසුම ලෙස හැඳින්වේ.

උඩරට ගිවිමේහි මූලික කරුණු 

  • රටෙහි පාලකයා – ශ්‍රී වික්‍රම රාජසිංහ නම් මලබාර් රජුට උඩරට සිහසුනට තිබෙන සියලු අයිතිවාසිකම් අහිමි වීම. රජු යුද්ධයෙන් පරාජය වී සිහසුනෙන් පහ කර ඇති බැවින් ඔහුගේ රජ පෙළපතට උරුමය අවලංගු කොට ශූන්‍ය කරන ලදී. ඔහුගේ සියලුම පිරිමි නෑදැයින් රටින් පිටුවහල් කළ යුතුය.
  • රටෙහි පාලනය – බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් ස්වරාජ්‍යයක් ලෙස පාලනය යටත් විජිත ආණ්ඩුකාරවරුන් විසින් ගෙන යා යුතුය. මෙහිදී අධිකාරම්වරු, දිසාවේ, මොහොට්ටාල, කෝරළේ, විදානේ සහ අනෙකුත් පහළ නිලධාරීන්ගේ බලතල හා ප්‍රසාද ඔවුනට එසේම තිබිය යුතුය.
  • රටෙහි ආගම – බුද්ධාගම නොකෙළෙසිය යුතුය. එහි අයිතිය පවත්වා ගත යුතු මෙන්ම ආරක්ෂා කළ යුතුය.
  • රටෙහි බලපවත්නා නීති – ශාරීරිකවද බන්ධන පැනවීම සහ අංග ඡේදන නොකළ යුතුය.
  • රටෙහි බලපවත්නා නීති – මරණ දඬුවම පැමිණ වීම නියම කළ හැක්කේ ආණ්ඩුකාරයාට පමණි. අනෙකුත් ප්‍රධාන දඬුවම් රජයේ නියෝජිතයෙකු ඉදිරිපිටදී පමණක් විය යුතුය.
  • රටෙහි බලපවත්නා නීති – සියලු සිවිල් සහ අපරාධ නඩු විමසීම උඩරැටියන් සම්බන්ධයෙන් දැනට පවත්නා නියමයන් යටතේ සිදු විය යුතුය. අවශ්‍ය තැන්වලදී අවශ්‍ය විටෙක ඊට මැදිහත් වීමේ බලය ආණ්ඩුව වෙත තිබිය යුතුය.
  • රටෙහි බලපවත්නා නීති – උඩරට නොවන අනෙකුත් අය සඳහා බ්‍රිතාන්‍ය නීතිය බලපැවැත්විය යුතුය.
  • රටෙහි පලාත් – තුන් කෝරළයේ සහ හතර කෝරළයේ සහ සබරගමුව යාකර ගැනීමේ ප්‍රකාශය අවලංගු වේ.
  • අයබදු – එංගලන්තයේ රජු සහ දිවයිනේ අභ්‍යන්තර ආයතනවල පැවැත්ම සඳහා බදු සහ ආදායම් එකතු කළ යුතුය.
  • රට තුළ වෙළඳාම – වෙළඳාම් සහ වාණිජ කටයුතුවලට පහසුකම් සැපයීම කළ හැක්කේ රජයට පමණි.

(උපුටා ගැනීම විකිපීඩියා නිදහස් විශ්වකෝෂය)

මෙම ලිපියෙහි සඳහන්  කරුණු පිරික්සා බැලීමේ දී මහත් ආන්දෝලනයකට තුඩු දුන් උඩරට ගිවිසුම මගින් කන්ද උඩරට රාජධානිය හා බ්‍රිතාන්‍යයන් සම්මුතියකට පැමිණීම සම්බන්ධව නිගමනයකට පැමිණිය හැකි බව මාගේ අදහසයි.

11 COMMENTS

  1. ඉතාමත් වටිනා ලිපි ගොනුවක් well gone brother

  2. අප නොදත් බොහො තොරතුරු මෙම ලිපියෙන් ඉගෙන ගතිමී.

  3. I have perused this article from head to tail. According to my view It was the best timely decision taken at that time according to the circumstances. Because rather than loosing as a nation confronting a war .It was a wise decision to agree by signing a treaty to rule the country by both parties.

Leave a Reply to Indika Giragama Cancel reply

Please enter your comment!
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න