ජීවිතයේ අරමුණු හාසැලසුම්
සෑම ජීවිතයකටම අරමුණු තිබිය යුතුමය. එසේම එම එක් එක් අරමුණ කරා ගමන් කිරීම සඳහා ඒවාට අදාළව එක් එක් සැලැසුම් තිබිය යුතුය.
අරමුණ නිත්‍ය වන අතර එය කිසි විටක වෙනස් නොවිය යුතුවේ. නමුත් එම අරමුණ කරා යන ගමන එනම් සැලැස්ම, කාලානුරූපව වෙනස් කරමින් අපට එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා යා හැකි ය.
අරමුණ – ලබා ගැනීමට බලාපොරොත්තු වන තත්වය.
අරමුණක තිබිය යුතු ලක්ෂණ;
- පිරිවිතර (Specific) විය යුතුයි. එහෙනම් අරමුණින් අදහස් වන දෙය ඉතාම පැහැදිලි විය යුතු යි. (උදාහරණ සඳහා දැක්විය හැකි අරමුණක් වන්නේ, “මම, මාගේ 23 වන උපන් දිනයට පෙර, බැංකු නිලධාරියෙකු වී, එම බැංකුවේ හි වසර 35 ක් සේවය කොට, මාගේ 58 වන උපන් දිනයේ සිට විශ්‍රාම වැටුපකට සුදුසුකම් ලබා, එම වැටුප ජීවිතාන්තය දක්වා, අඛණ්ඩව ලබා ගනිමි. ” යන්නය).
- මැනිය හැකි (Measurable) විය යුතු යි. අරමුණ සාර්ථක කර ගැනීම කර ගැනීම සඳහා කොපමණ ප්‍රමාණයක් කරුණු සාක්ෂාත් කරගෙන ඇත්ද යන්න ඕනෑම අවස්ථාවක දී මැන බැලිය හැකි විය යුතු යි. ප්‍රතිශතාත්මකව මිනුමක් දිය හැකි විය යුතුයි. (ඉහත උදාහරණයේදී එම අරමුණ කරා යන ගමනේ ඕනෑම අවස්ථාවක දී සාර්ථකත්වය මැනිය හැකිය. ඉහත උදාහරණයේ අරමුණ ගත් විට පුද්ගලයෙකු, ඔහුට වයස අවුරුදු 23 ක් වීමට පෙර, බැංකු නිලධාරියෙකු වී, එහි වසර 35 ක් සේවය කොට, ඔහුගේ 58 වන උපන් දිනයේ සිට විශ්‍රාම වැටුපකට සුදුසුකම් ලබා, එම වැටුප දැනට, අඛණ්ඩව ලබා ගන්නේ නම්, ඔහු තම අරමුණෙන් 62.5% සාක්ෂාත් කරගෙන ඇත. කුමක් නිසාද යත් ඔහුගේ අරමුණෙහි ඇති කරුණු 8 න් ඔහු 3 ක් හැර අනෙක් 5 සාක්ෂාත් කරගෙන ඇති නිසාය. දැනට ඔහුට ඇත්තේ “ජීවිතාන්තය දක්වා අඛණ්ඩව එම වැටුප ලබා ගැනීම” යන කරුණු 3 සාක්ෂාත් කර ගැනීම පමණි).
- අත් කරගත හැකි (Achievable) විය යුතුයි. එනම් අරමුණ ප්‍රායෝගිකව අත් කරගත හැකි අරමුණක් විය යුතුයි. ප්‍රායෝගික නොවන, අරමුණු ගත නොයුතුය. (ඉහත උදාහරණයේදී නම් “නිලධාරීයෙකු වී” යන්න වෙනුවට “අයිතිකරු වී ” යන අරමුණ නොගත යුතුය. හේතුව නම් දී ඉහත අරමුණු තුළ ඇති කාල රාමුව තුළදී, බැංකුවක අයිතිකරු වීමට ඇති අවස්ථාව ප්‍රායෝගිකව ඉතාම විරල වීමයි).
- යථාර්ථවාදී (Realistic) විය යුතුයි. එනම් එම අරමුණ එම පුද්ගලයාට ලබාදී ඇති කාලය තුළදී සාක්ෂාත් කරගැනීමේ හැකියාව තිබිය යුතුයි. එනම් සඳහන් කරන කාල සීමාව තුල සඳහන් කරන කාර්යය සිදු කිරීමට හැකි විය යුතුය. (ඉහත උදාහරණයේදී නම් එහි සඳහන් අරමුණ “වසර 35 ක් සේවය කොට” යන්න වෙනුවට ඊට අඩු වසර ගණනක් යෙදුව හොත් විශ්‍රාම වැටුප ලබා ගැනීමට බැංකු මගින් අනුමත වී ඇති වයස වූ අවුරුදු 58 සම්පූර්ණ නොවන නිසා නීතියට අනුකූල නොවෙයි. එවිට අරමුණ සපුරා ගැනීමට ඇති ඉඩකඩ ඉතා සීමිතය).
- කාල රාමුව (Time frame) ක් තිබිය යුතුයි. නිශ්චිත කාල රාමුවක් තුළ නිශ්චිත ක්‍රියා පටිපාටියක් කළ යුතු වීමත්, සම්පූර්ණ අරමුණ සාක්ෂාත් කර අවසන් කිරීම සඳහා නිශ්චිත කාලවකවානුවක්, නිශ්චිත දිනයක්, නිශ්චිත වේලාවක් තිබීමත් විය යුතුය. (ඉහත උදාහරණයේ “මාගේ 23 වන උපන් දිනයට පෙර” “වසර 35 ක් සේවය කොට” “මගේ 58 වන උපන් දිනයේදී” “ජීවිතාන්තය දක්වා” යන ලෙස කාල රාමුවක් නැතහොත් කාල සීමාවක් පනවා ඇත්තේ මේ හෙයිනි).
සැලසුම් – අරමුණ ඉෂ්ට කර ගැනීම සදහා එසේ නැතහොත් ලබා ගැනීමට බලාපොරොත්තු වන තත්වය ලබාගැනීම සදහා කළ යුතු කාර්යයන් මොනවාද, එම කාර්යය කරන්නේ කෙසේද, එම කාර්යයන් කළ යුත්තේ කුමන අවස්ථාවකදීද, එම කාර්යයන් කළ යුත්තේ කවුරුන්ද, යන කරුණු නිශ්චය කර ගැනීම හා සැලසුම්කරණය වේ.
සැලසුමක තිබිය යුතු ලක්ෂණ;
- අරමුණ සාක්ෂාත් කර ගැනීමේ සාපේක්ෂ පහසුම මාර්ගය මෙම සැලැස්ම විය යුතුය. අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා තවත් වෙනත් සැලසුම් සකස් කර ගත හැකි වන අතර එම සැලසුම් පළමු සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී බාධා එල්ල වුවහොත් එම පළමු සැලැස්ම වෙනුවට යොදාගත හැකි සැලසුම් (Contingency plans) ලෙස තබා ගත යුතුය.
- සරල විය යුතු ය. සැලැස්ම සන්නිවේදනය කරන විට එහි අවිනිශ්චිතභාවයක් පැන නොනැගිය යුතු ය. එනම් සෑම ක්‍රියාවක්ම කළ යුතු ආකාරය නිශ්චිතවම, පැහැදිලිව සඳහන් කොට තිබිය යුතුය
- පැහැදිලි විය යුතුය. සැලසුම අධ්‍යයනයේ දී එය ක්‍රියාවට නැංවීම සඳහා කළ යුතු දෙය ඉතා පැහැදිලිව සන්නිවේදනය වී තිබිය යුතු ය.
- සියලු විස්තර සහිත විය යුතුය. සැලසුමෙහි ඊට අවශ්‍ය සියලුම විස්තර අන්තර්ගත විය යුතුය. එනම් කළ යුතු ක්‍රියාවන්, ස්ථානයන්, කාල වකවානුන්, කාල සීමාවන් ආදි.
- නම්‍යශීලීවිය යුතු ය. සැලසුම ක්‍රියාත්මක කරගෙන යන විට ඇතිවෙන බාධාවන් තරණය කිරීම සඳහා ඕනෑම අවස්ථාවක, අරමුණ වෙනස් නොකර සැලසුම වෙනස් කර ගත හැකි විය යුතුය.
- සකසුරුවම් සහිත විය යුතු ය. තමා සතු සහ තම අරමුණට සුදුසු පරිදි සපයා ගත හැකි සම්පත් පමණක් භාවිත කරමින් සැලසුම සම්පාදනය කළ යුතුය. එම සම්පත් ද අපතේ නොයන පරිදි සකසුරුවම්ව භාවිතා කළ යුතුය
- සම්මත ක්‍රම සහිත විය යුතු ය. සමාජ සම්මත ක්‍රම තුළින්ම පමණක් අරමුණ සඵල කර ගැනීම සඳහා සැලසුම සකස් කළ යුතුය
- ප්‍රායෝගික විය යුතු ය. සැලසුම ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික කළ හැකි විය යුතුය.
- වෙනත් සැලසුම් සමග හැකි පමණ සම්බන්ධ කරගත හැකි විය යුතු ය. මෙම සැලසුමට අමතර ව එයට සමගාමීව ක්‍රියාත්මක වන අනිත් සැලසුම් වලට බාධාවක් නොවන ආකාරයට හා එම සැලසුම් වලට ද මෙම සැලසුම උපකාරයක් වන ආකාරයට සැකසිය යුතු ය.
මෙම කරුණු තව දුරටත් පැහැදිලි කර ගැනීම සඳහා ඉහත සඳහන් වූ අරමුණ සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය එක් සැලසුමක් සාදා එය උදාහරණයකට ගනිමු.
අරමුණ – “මම, මාගේ 23 වන උපන් දිනයට පෙර, බැංකු නිලධාරියෙකු වී, එහි වසර 35 ක් සේවය කොට, මාගේ 58 වන උපන් දිනයේ සිට විශ්‍රාම වැටුපකට සුදුසුකම් ලබා, එම වැටුප ජීවිතාන්තය දක්වා, අඛණ්ඩව ලබා ගනිමි”.
සැලසුම –
- සාමාන්‍ය පෙළ විභාගය, වයස අවුරුදු 58 න් පසුව ජීවිතාන්තය දක්වාම විශ්‍රාම වැටුපක් ලබා දෙන බැංකුවක රාජකාරි කිරීමට සුදුසු ප්‍රථම උපාධියක් ලබා ගැනීමට හැකි විෂයන්ගෙන් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වීමට හැකි ලෙස, ප්‍රථම උත්සාහයෙන්ම සමත් වීම
- උසස් පෙළ විභාගය, විශ්ව විද්‍යාලයකින් වයස අවුරුදු 58 න් පසුව ජීවිතාන්තය දක්වාම විශ්‍රාම වැටුපක් ලබා දෙන බැංකුවක රාජකාරි කිරීමට සුදුසු ප්‍රථම උපාධියක් ලබා ගැනීමට හැකි ලෙස ප්‍රථම උත්සාහයෙන්ම සමත්වීම
- පාසලේදී කළ හැකි නායකත්ව පුහුණු වීමේ ක්‍රියාවන් සඳහා උපරිමයෙන් සහභාගි වීම
- 23 වන උපන් දිනයට පෙර, වයස අවුරුදු 58 න් පසු ව ජීවිතාන්තය දක්වාම විශ්‍රාම වැටුපක් ලබා දෙන බැංකුවක සේවය කිරීමට අවශ්‍ය වන විෂයන්ගෙන් සමන්විත පාඨමාලාවක් එම බැංකුව පිළිගත් ආයතනයකින් හැදෑරීම
- වයස අවුරුදු 58 න් පසු ව ජීවිතාන්තය දක්වාම විශ්‍රාම වැටුපක් ලබා දෙන බැංකුවට සම්බන්ධ/බලපෑම් කළ හැකි ඥාතීන්/පුද්ගලයින් සමග සම්බන්ධකම් පැවැත් වීම හා ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීම
- 23 වන උපන් දිනයට පෙර, වයස අවුරුදු 58 න් පසු වූ ජීවිතාන්තය දක්වාම විශ්‍රාම වැටුපක් ලබාදෙන බැංකුවකට නිලධාරියෙකු ලෙස බැඳීම
- බැංකුවේ රාජකාරි කරන අවුරුදු 35 තුළ පෞද්ගලික බැඳීම් සියල්ල පාලනයකට යටත් ව ක්‍රියා කිරීමට උපකාර විය හැකි පුද්ගලයින් සමග පමණක් සම්බන්ධ වීම
- වයස අවුරුදු 58 න් පසු වූ ජීවිතාන්තය දක්වාම විශ්‍රාම වැටුපක් ලබාදෙන බැංකුවෙහි අවුරුදු 35 ක් අඛණ්ඩව නිලධාරියකු ලෙස රාජකාරි කිරීම
- නීත්‍යානුකූල පුරවැසියෙකු ලෙස ජීවත් වීම සඳහා අවශ්‍ය නීති සම්බන්ධව දැනුවත් වීම
මෙය තව දුරටත් පැහැදිලි කර ගැනීම සඳහා ඔබගේ රැකියාව සඳහා වූ අරමුණ සහ සැලැස්ම ඉහත සඳහන් අරමුණ හා සැලැස්ම සමඟ සංසන්දනය කරන්න. එවිට මේ සම්බන්ධව පැහැදිලි අදහසක් ගත හැකි වනු ඇත
ඉහත මා සඳහන් කරන ලද කරුණු වලින් ජීවිතයේ අරමුණ හා සැලසුම් සකස් කර ගන්නේ කෙසේදැයි යන කරුන සම්බන්ධයෙන් දැන් ඔබ වෙත සුළු වූ හෝ අදහසක් ජනිත වී ඇතැයි යැයි මා සිතමි.