මා ජීවිතය දකින්නේ එය වයස අනුව ඇති අවුරුදු 5 හේ අවධි 16 ක් ලෙසයි. එසේම මෙම අවුරුදු 5 හේ අවදි 16 සියලුම දෙනාගේ ජිවිත වලට පොදු බවත් මාගේ පිළි ගැනීමයි. මෙම අවධි වල සීමාවන් නියතයක් (clear-cut) නොවන අතර ම ඒවා බොඳවී තිබිය හැකි බවත්, සීමාවන් සුළු වශයෙන් වෙනස් වුවත් මෙම සියලුම අවධින් සියලුම දෙනාගේ ජීවිතය තුළ අනිවාර්යෙන්ම දැක ගත හැකිය යන්න මාගේ දැක්මයි. මෙසේ ජීවිතයේ ප්‍රධාන අවධි 4 ක් ඇති බවත් එය අවුරුදු 20 කාණ්ඩ අනුව බෙදී ඇති බවත් මා විශ්වාස කරනවා. එම ප්‍රධාන අවධි 4 නම්;
- ප්‍රධාන අවධි අංක 1 – උපන් දා සිට එනම් අවුරුදු 0 සිට අවුරුදු 20 දක්වා (ඉගෙනීමේ අවධිය – Learning stage)
- ප්‍රධාන අවධි අංක 2 – අවුරුදු 20 සිට අවුරුදු 40 දක්වා (උපයන අවධිය – Earning stage)
- ප්‍රධාන අවධි අංක 3 – අවුරුදු 40 සිට අවුරුදු 60 දක්වා (ඉගැන්වීමේ අවධිය – Teaching stage)
- ප්‍රධාන අවධි අංක 4 – අවුරුදු 60 සිට අවුරුදු 80 එනම් මරණය දක්වා (කරමින් සිටි කාර්යයන් අවසන් කොට විවේක ගැනීමේ අවධිය – Resting stage)
තවදුරටත් මෙම ප්‍රධාන අවධි 4 අවුරුදු 5 කාණ්ඩ අනුව අනු අවධි 4 කට බෙදි යනවා. එවිට අපට අනු අවධි 16 ක් ලැබෙනවා. එම අනු අවධි 16 නම් ;
- ප්‍රධාන අවධි අංක 1 අනු අවධි –
a. උපන් දා සිට එනම් අවුරුදු 0 සිට අවුරුදු 5 දක්වා (ළදරු අවධිය) මෙම අවධිය අප බාහිර පුද්ගලයන් මත යැපෙමින්, බාහිර පුද්ගලයින් ගේ හැසිරීම අනුව පෞරුෂත්වය වර්ධනය කර ගනිමින් ඉතා අසරණ ව සිටින අවධියකි. මෙම අවධිය අපට පාලනය කළ නොහැක. මා පිලිගන්නා දර්ශනය අනුව නම් මෙම අවධිය අප කලින් භවවල සිදු කරන ලද සංස්කාර ධර්මයන්ට අනුව සිදු වේ.
b. අවුරුදු 5 සිට අවුරුදු 10 දක්වා (ළමා අවධිය – 1) ප්‍රධාන වශයෙන් අපගේ ප්‍රාථමික පාසල් කාලය, මෙම අවධියට අයත් වේ. මෙම අවධිය ද අපට පාලනය කර ගත නො හැකි අතර, බාහිර පුද්ගලයින් මත යැපීමට සිදු වේ. එහෙයින් පෙර අවධියේ මෙන්ම මෙම අවධියද අප කලින් භවවල කරන ලද සංස්කාර ධර්ම වලින් පාලනය වන බව මා පිළිගන්නා දර්ශනයයි.
c. අවුරුදු 10 සිට අවුරුදු 15 දක්වා (ළමා අවධිය – 2) ප්‍රධාන වශයෙන් අපගේ මුල් පාසල් කාලය, මෙම අවධියට අයත් වේ. මෙම අවධිය අපට යම් සුළු තරමකින් පාලනය කර ගත හැකි වුවත්, ප්‍රධාන වශයෙන් ම බාහිර පුද්ගලයින් මත යැපීමට සිදුවන අවධියකි. මෙම අවධිය ද අපගේ පාලනයෙන් බැහැර හෙයින් අපට අවශ්‍ය පරිදි කලමනාකරණය කර ගත නොහැකි ය.
d. අවුරුදු 15 සිට අවුරුදු 20 දක්වා (පූර්ව තරුණ අවධිය) ද්විතීක පාසල් කාලය, මෙම අවධියට අයත් වේ. මින් ඉහත ඇති අවධි තුන අප කලින් භවවල කරන සංස්කාර ධර්ම වල පිහිටෙන් සාර්ථකව ඉටු වුව හොත් මෙම අවධිය අපට මධ්‍යස්ථ තරමකට පාලනය කරගත හැකිය. ඒ අනුව මෙම අවධියේ දි අපට අපගේ අනාගතය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය අධ්‍යාපනය සාර්ථකව කර ගත හැකිය. ඇත්ත වශයෙන්ම මෙම අවධියේ දී මා නම් බලාපොරොත්තු වන්නේ ජීවිතය මධ්‍යස්ථව ජීවත් කරවීම සඳහා යම් උපැයීමක් කිරීමට සුදුසු සාධාරණ රැකියාවක් කිරීම සඳහා අධ්‍යාපනයක් ලැබීම යි. එවැනි රැකියාවක් කිරීමට අවස්ථාව සැලසෙන උසස් අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාවකට අවතීර්ණ වීම ද මෙහි දී අනුමත කෙරේ. - ප්‍රධාන අවධි අංක 2 අනු අවධි –
a. අවුරුදු 20 සිට අවුරුදු 25 දක්වා (උපැයීම ආරම්භ කරන අවධිය) උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවකට අවතීර්ණ වීමට හැකියාව ලැබුණ හොත් එයට අවතීර්ණවීම හෝ ඉපැයීම සඳහා රැකියාවක් ආරම්භ කරන කාලය, මෙම අවධිය රැකියාවෙන් ලැබෙන වැටුපෙන් තම ප්‍රාථමික අවශ්‍යතා ඉටු කර ගනිමින් සිටින අවධියයි. ඉදිරි අනාගතය සඳහා ආයෝජනය කිරීමට ආරම්භ කළ යුතු කාලයයි. උසස් අධ්‍යාපනය ලබන්නේ නම් හොඳම ආයෝජනය එයයි.
b. අවුරුදු 25 සිට අවුරුදු 30 දක්වා (අනාගතය සඳහා ආයෝජනය කිරීම් කරන අවධිය) තව දුරටත් උසස් අධ්‍යාපනය ලබන්නේ නම් හොඳ ම ආයෝජනය එයයි. එසේ නොමැති නම් මෙම අවධියේ දී වාහනයක්, ඉඩමක් හා නිවසක් හිමි කර ගැනීම සඳහා ක්‍රියා කළ යුතුයි හෝ ඒ සඳහා සැලැස්මක් සකසා එය ක්‍රියාත්මක කළ යුතුයි.
c. අවුරුදු 30 සිට අවුරුදු 35 දක්වා (විවාහයට ඇතුළත් වන අවධිය) මෙම අවධිය වන විට එම පුද්ගලයාට ඉහත සඳහන් අදියරයන් සාර්ථකව සිදුව තිබුණහොත් ඔහු හොඳ පෞරුෂත්වයකට, අධ්‍යාපනයකට, රැකියාවකට, ඉඩමක් සහිත නිවසකට හා වාහනයකට හිමිකරුවකු වනවා ඇත. එම පුද්ගලයාට සමාන ලක්ෂණ ඇති සහකරුවෙකු සොයා ගැනීම මෙම අවධියේ දී කළ යුතුයි.
d. අවුරුදු 35 සිට අවුරුදු 40 දක්වා (දරු සුරතල් බැලීම ආරම්භ කරන අවධිය) මෙම අවධිය එම පුද්ගලයාට භෞතික සම්පත් වලට අමතර ව සහකරුවෙකු හෝ සහකාරියක ද දරුවෙකු හෝ දෙදෙනෙකු ද සිටින අවධියයි, ඔවුන් වෙනුවෙන් වූ වගකීම් ඉටු කිරීම ආරම්භ කරන අවධිය මෙයයි. - ප්‍රධාන අවධි අංක 3 අනු අවධි –
a. අවුරුදු 40 සිට අවුරුදු 45 දක්වා (දරුවනට උගන්වන අවධිය – 1) තම දරුවන් ගේ ප්‍රාථමික හෝ මුල් අධ්‍යාපනය ලබාදෙන අවධිය යි.
b. අවුරුදු 45 සිට අවුරුදු 50 දක්වා (දරුවනට උගන්වන අවධිය – 2) තම දරුවන් ගේ ද්විතීක අධ්‍යාපනය ලබාදෙන අවධියයි. දරුවන් උසස් අධ්‍යාපනයට යොමු වන්නේ නම් එය සඳහා ද පහසුකම් සැලසිය යුතු අවධිය යි.
c. අවුරුදු 50 සිට අවුරුදු 55 දක්වා (දරුවනට වගකීම් පවරන අවධිය) මෙම අවධිය වන විට දරුවන් ඔවුන් ගේ උපැයිම් ආරම්භ කර හෝ උසස් අධ්‍යාපනය ලැබීම ආරම්භ කර හෝ සිටින අතර, වගකීම් දැරීමට සුදුසු පරිණත අවධියක සිටී. දරුවන්ට දරුවන්ගේ ජීවිතයේ වූ වගකීම් තනිවම දැරීමට ක්‍රමානුකූලව වගකීම් පැවරිය යුතු අවධිය යි.
d. අවුරුදු 55 සිට අවුරුදු 60 දක්වා (වගකීම් වලින් සම්පූර්ණයෙන් මිදෙන අවධිය) මෙම අවධිය දරුවන් විවාහ දිවියට පත්වන අවධියයි, එම වගකීම් අවසන් කිරීමත්, කරන ලද රැකියා හෝ වගකීම් සහිත නිල තල වලින් ඉවත් වී සියලුම වගකීම් වලින් නිදහස් වීම මෙම අවධියේ දී කළ යුතුයි. - ප්‍රධාන අවධි අංක 4 අනු අවධි –
a. අවුරුදු 60 සිට අවුරුදු 65 දක්වා (ජීවිතය පුරා කරගෙන ආ කාර්යයන් නැවැත්වීම ආරම්භ කරන අවධිය) මෙම අවධියේ දී තමා අවුරුදු හැටක් පමන කරගෙන ආ ක්‍රියාවන් ක්‍රමානුකූලව නවතා දැමීම සිදු කළ යුතුයි. යම් කර්තව්‍යයක් අවසන් කිරීමට නොහැකිව තිබේ නම් එය අවසන් කිරීම සඳහා සුදුසු අන් අයෙකු වෙත පැවරිය යුතුයි.
b. අවුරුදු 65 සිට අවුරුදු 70 දක්වා (ජීවිතය පුරා කරගෙන ආ කාර්යයන් නවතා අවසන් කරන අවධිය) මෙම අවධිය සියලුම වගකීම් වලින් නිදහස්ව තම ආගමානුකූලව කටයුතු සිදු කරමින් සියලුම දේ අත්හැරීමට මානසිකව සූදානම් විය යුතු අවධියයි.
c. අවුරුදු 70 සිට අවුරුදු 75 දක්වා (ජීවිතය අවසන් කිරීම ආරම්භ කරන අවධිය) මෙම අවධිය වන විට ය මානසිකව හෝ කායිකව කිසිම බැඳීමක් කිසිම දෙයකට නො තිබිය යුතුයි. සියලුම දේ අත්හැර දමා කිසිම දෙයක් නැතිව යන ස්ථානයක් නොදැන යන දීර්ඝ ගමනක් යෑම ආරම්භ කිරීම සඳහා සූදානම්ව සිටිය යුතු යි.
d. අවුරුදු 75 සිට අවුරුදු 80 එනම් මරණය දක්වා (ජීවිතය අවසන් කරන අවධිය) අවසාන ගමන යෑම.
අවශ්‍ය කෙනෙකු මෙම අනු අවධි 16 නැතහොත් ජීවිතයේ අවධි 16 හොඳින් නිරීක්ෂණය කළ හොත් එය සියලුම පුද්ගලයින්ට පොදු බව අවබෝධ වනු ඇති.
තවද මා ඉහතදී සඳහන් කළාක් මෙන් මෙම අවධි වල මායිම් නියත නොවනවාත් සමගම සමහර අවධීන් කෙටි වී සමහර අවධීන් දිගු වී පැවතීමට ද හැකියාව ඇත. නමුත් මෙම අවධි 16 ම ඕනෑම පුද්ගලයෙකුගේ ජීවිතයේ ඇති බව මාගේ විශ්වාසයයි.
මා සඳහන් කර ඇති පරිදි යම් අයෙකු නියමිත අවධියේදී නියමිත දේ කළ හොත්, එම ජීවිතය සාර්ථකම වනු ඇත. ඇත්ත වශයෙන්ම මාගේ මතය වන්නේ ඉහත සඳහන් පරිදි නියමිත අවධියේ දී නියමිත දේ කරන ප්‍රතිශතය මත ජීවිතයේ සාර්ථකත්වයේ ප්‍රතිශතය රඳා පවතින බවයි. ඉතාම කලාතුරකින් මෙම අවධි වලට පිටතින් ගොස් ජීවිතය සාර්ථක කරගත් කිහිප දෙනකු දක්නට ලැබෙනු ඇතත්, බහුතරයකට බලපාන සත්‍ය නම් නියමිත දේ කළ යුතු බවයි. ඒ සඳහා දැඩි ආත්ම සංයමයක් ද, ප්‍රබල ධෛර්යයක් ද, මුහුකුරාගිය ගිය මානසික පරිනත භාවයක්ද, තිබිය යුතුවේ.