ගෙවතු වගාවේ අරපිරිමැස්ම

ගෙවතු වගාව -1

4
2007

හැඳින්වීම

ගෙවතු වගාව සම්බන්ධයෙන් විමසීමේදී  ප්‍රථම ව අප ගෙවතු වගාව හා වාණිජ වගාව අතර වෙනස හඳුනා ගත යුතු වෙනවා.

වාණිජ වගාව 

වාණිජ වගාව ලෙස මා හඳුන්වන්නේ තමා සහ තම සමිපතයන්ගෙන් පරිබාහිරව පිටස්තර පුද්ගලයන්ට මුදලට හෝ වෙනත් දෙයකට විකිණීම සඳහා කරනු ලබන වගාවයි. තව ඌණ පූර්ණයක් මේ සඳහා දුනහොත් කුලී පදනම මත ශ්‍රමිකයන්ද වගාව ට අවැසි බීජ, පොහොර, වල් හා කෘමි නාශක ආදියද මුදලට ගෙන මහා පරිමාණ වගා කිරීම් වාණිජ වගා ගණයට ඇතුළත් වන බව මාගේ අදහසයි. මෙහි දී වගා කරුවා ප්‍රධාන වශයෙන් ම බලාපොරොත්තු වන්නේ ආර්ථික ලාභය යි.

ගෙවතු වගාව 

ගෙවතු වගාව ලෙස මා දකින්නේ තමා හා තම සමීපතමයන් හට පරිභෝජනය සඳහා තම ගෙවත්තෙහි සීමිතව වගා කිරීම යි. 

එවතලන හාල් මළුවල සහ බිම සිටුවනලද මිරිස් පැල.

ප්‍රධාන වශයෙන් ගෙවතු වගාවෙන් ඉඳුරාම විශාල ආර්ථික ලාභයක් බලාපොරොත්තු නොවිය යුතු අතර, එය වක්‍රාකාරව ගෙවතු වගාව නිසා ලැබේන මානසික සුවය, කායික ක්‍රියාකාරකම් නිසා ලැබෙන කායික ව්‍යායාම මගින් අත් වන්නා වූ කායික සුවය, විෂ සහිත රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොරව වගා කටයුතු සිදු කර ලබා ගන්නා ඵලදාව භාවිතයෙන් ලැබෙන සෞඛ්‍ය සුවය හා තමා වගා කළ දේවල් පරිභෝජනය කරන නිසා ලැබෙන සුළු ආර්ථිකමය වාසිය පමණක් බලාපොරොත්තු විය යුතුය. තව ද මහා පරිමාණව වගා කිරීමට ලබා ගත නොහැකි දුර්ලභ වගාවන් වගා කර ගැනීමේ හැකියාව සහ ඒවායෙන් ලැබෙන පලදාව භුක්ති විඳීමට ලැබෙන හැකියාව ද ගෙවතු වගාවෙන් ලැබෙන අතුරු ඵලයකි.

එසේ ම, වාණිජමය වශයෙන් ද්‍රව්‍ය මිලදී ගැනීම ගෙවතු වගාවේදී උපරිමයෙන් ම මගහැරිය යුතු බව මාගේ හැඟීමයි. එය සරල උදාහරණයකින් පැහැදිලි කල හොත් ගෙවතු වගාවේදී බීජ ලෙස භාවිතා කිරීමට මා නම් අනුබල දෙන්නේ අප ආහාරය පිණිස ගන්නා ඵලයකින් ලබා ගත්තා වූ බීජ, අප විසින් ගෙවතු වගාවේ වගා කොට ඇති ඵල වලින් ගන්නා බීජ හෝ වෙනත් අයෙකුගේ ගෙවතු වගාවෙන් හුවමාරුවට ලබා ගන්නා බීජ වැනි මුදල් දී මිලදී ගැනීමට අවශ්‍යතාවක් නොවන බීජය.

එවතලන මල් පෝච්චි වල සිටුවනලද නයි මිරිස්.

එසේ ම බිම් සැකසීමේ දී තමාට හැකි පමණින් තමා විසින් ම බිම් සැකසීම කළ යුතු බව මාගේ අදහසයි. එසේ ම මූලික පොහොර ලබා ගැනීමේදී ද නිවසින් ඉවත ලන දෑ මගින් සකසා ගත් කොම්පෝස්ට් පොහොර යොදා ගත යුතු වේ. පසුව පොහොර දැමීමේ දී ද අප විසින් ම සකසා ගත් පොහොර යෙදිය යුතු බව ද මාගේ අදහසයි. බෝගය භාජනයක වගා කරන්නේ නම් භාවිතා කොට ඉවත ලන භාජන ඒ සඳහා යොදා ගත යුතු ය. 

භූමියේ සිටුවනලද නයි මිරිස්.

වල් පැළෑටි ඉවත් කිරීම සඳහා කෘතීම රසායනික ද්‍රව්‍ය යොදා නොගත යුතු අතර වල් පැළෑටි ඉවත් කිරීම කළ යුත්තේ ඒවා තමා විසින් ම ගලවා දැමීම මගිනි. කෘමි නාශක සඳහා අප විසින් ම සකසා ගත් කාබනික ද්‍රව්‍ය යොදා ගත යුතුය. ගොලුබෙල්ලන් හම්බෙල්ලන් වැනි පලිබෝධකයන් ඉවත් කිරීමද  අප විසින්ම කළ යුතු අතර ඒ සඳහා රසායනික ද්‍රව්‍ය භාවිතා නොකළ යුතුය. පලිබෝධකයන් හෝ කෘමීන් වැනි සතුන්  මරණයට පත් කිරීමෙන් පරිසරය යම් තරමකින් හෝ අසමතුලිතතාවයට පත් විය හැකි හෙයින් එම සතුන් මරණයට පත් නොකළ යුතු අතර ඔවුන් වගාවෙන් ඉවත් කිරීමට පමණක් උපරිමයෙන් ක්‍රියා කළ යුතු ය.

බෝගය සඳහා ජලය යෙදීමේදී ද ජලය අරපිරිමැස්ම උපරිමෙන්ම කළ යුතු දෙයකි යන්න ද මගේ පුද්ගලික අදහසයි.

එවතලන ප්ලාස්ටික් බොතල් වල ස්වයන්ක්‍රීයව ජල සැපයුම ලැබෙන පරිදි සිටුවනලද රාබු.

ඵලදාව නෙළා ගන්නා අවස්ථාවේදීද නෙළා ගත යුත්තේ තමන්ට එම අවස්ථාවේ දී  අවශ්‍ය වන පලදාව පමණි, එවිට සෑම විටම නැවුම් ඵලදාවක් ලබාගත හැකි වනවා මෙන්ම වගාවට හානි නොකර පලදාව බුක්තිවිදින සතුන් හට යම් සුළු සහනයක් හෝ ලැබෙන බව මගේ අදහසයි. එසේ ම වගා කරන ලද බෝගයන්ගේ පලදාවෙන් නැවත වගා කිරීම සඳහා බීජ ලබා ගැනීම ද අමතක නො කළ යුතු දෙයකි.

තව ද භාජන වල වගා කිරීමේ දී අප විසින් සකසා ගන්නා ලද භාජන වලට යොදන පස් මිශ්‍රණ සුදුසු ලෙස සකසා නැවත වතාවක් ඊළඟ වගාව සඳහා යොදා ගත යුතු ය. වගාවක් තිබූ භාජනයක පස් මිශ්‍රණය ඉවත  දැමීම කිසිසේත්ම නොකල යුතුය. මුල් වගාවට යොදා ගත්  පස් මිශ්‍රණය ම එම වගාව අවසන් වූ පසු ඊළඟ වගාව සඳහා යොදා ගත යුතු ය. වගා කරන භාජන ද එසේ ම නැවත නැවත වගාවන් සඳහා භාවිතා කළ යුතුය. මා මෙයින් බලාපොරොත්තු වන්නේ එම පස් මිශ්‍රණයේ ඇති පස් සහ අප විසින් සකසා ගත් පොහොර හැකි පමණ ප්‍රයෝජනයට ගැනීම හා ශ්‍රමය ඉතිරි කර ගැනීමයි.

මල්පෝච්චි වල සිටුවනලද තක්කාලි.

ඉහත කරුණු වලින් මා අදහස් කරන්නේ ගෙවතු වගාවකදී වියදම් කරන භෞතික සම්පත් ප්‍රමාණය අවම කර ගත යුතු බවයි. එසේ ම වැය කරන කාලය හා ශ්‍රමය ද හොඳින් කළමනාකරණය කර ගෙන එයින් උපරිම ප්‍රයෝජන ගත යුතු බවයි. එවිට ආර්ථික තත්වය හෝ කාර්ය බහුලතාවය කුමන මට්ටමක තිබෙන පුද්ගලයන්ට වුව ද ගෙවතු වගාව සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇත.

ගෙවතු වගාවකදී අනෙක් ප්‍රධාන කරුණ වන්නේ සීමිත ඉඩ කඩ කළමනාකරණය කිරීමයි. මගේ අත්දැකීම අනුව නම් උදෑසන හිරු එළිය වගාවකට ඉතා වැදගත් වේ, එසේ ම වගා කරන බෝගයේ මූල මණ්ඩලය අනුව එම බෝගය වගා කළ යුතු පසෙහි ගැඹුර එසේ නැතහොත් භාජනයෙහි උස තීරණය කළ යුතු ය. මෙම ප්‍රධාන මූලික කරුණු සැලකිල්ලට ගෙන යොදා ගත හැකි සෑම ඉඩකඩ කම ඊට සුදුසු වගාවක් කිරීම යෝග්‍ය වේ.

ගෙවත්තෙන් සොයාගන්නා ලද දඩු වලින් සකසා ගත් නිවිති සහ එම මැස්ස.

ඇත්ත වශයෙන්ම මා මෙයින් අඟවන්නට  අදහස් කරන්නේ ගෙවතු වගාව යනු සීමිත ඉඩ කඩ ප්‍රමාණයක් කළමනාකරණය කර ගනිමින් සුළු පිරිසකගේ  පරිභෝජනයට පමණක් සෑහෙන ප්‍රමාණයකට අවම සම්පත් වැය කිරීමකින් වගාවක් සිදු කොට පලදාවක් ලබාගන්නා අතරම  එයින් මානසික හා කායික සුවයක් විඳීමය.

තව දුරටත් මේ සම්බන්ධ ව දීර්ඝව සාකච්ඡා කළ හැකි වුව ද ආරම්භයක් ලෙස මෙම ප්‍රධාන මූලික කරුණු දැනට ප්‍රමාණවත් වේ යැයි සිතමි.

මල් පෝච්චියේ සිටුවනලද දේශීය කොච්චි.
මල් පෝච්චියේ සිටුවනලද මිරිස්.

තව ද මේ සම්බන්ධව ඔබගේ අදහස් දැක්වීම් ද මා ඉතා අගය කොට සලකමි. එහෙයින් ඔබගේ අදහස් කමෙන්ට්ස් මාර්ගයෙන් හෝ දක්වන ලෙස ඉතා උනන්දුවෙන් ඉල්ලා සිටිමි.

4 COMMENTS

  1. හරිම ලස්සනට වගා කරලා තියෙනවා

Leave a Reply to චුලාන්ගනි ගිරාගම බස්නායක Cancel reply

Please enter your comment!
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න